Showing posts with label දහම්. Show all posts
Showing posts with label දහම්. Show all posts

ඇයි අපි නොතෙමෙන්නේ.....


මේ දවස් වල තොරතෝංචියක් නැතුව වහිනවනේ. නියම වැඩේ කියන්නේ හැමදාම වගේ වහින්නේ ඔෆිස් එකෙන් එළියට බහින්න ඔන්න මෙන්න තියලා. ඉතින් සමහර දවස් වලට කුඩයක් තියෙන අය, නැති අය කියලා වෙනසක් නැහැ නාගෙන තමයි යන්න වෙන්නෙ. ඒ ඉතින් වැස්ස ගැන සුපුරුදු කතාව නේ. හැබැයි මේ කියන්න යන්නේ ඊට වෙනස් දෙයක්. මිනිස්සු වුණ අපි වැස්ස වෙලාවට උත්සහ කරන්නෙ මොන ම විදියකින් හරි නොතෙමී ඉන්න නේ. එක්කෝ කුඩයක් ඉහළගෙන, එහෙමත් නැත්තම් නොතෙමී ඉන්න පුළුවන් තැනකට ගිහින්, එහෙමම්මත් නැත්තම් අනුන්ගෙ කුඩයක් යටින් හරි යනවනෙ. හැබැයි දැකලා තියෙනවා නේද ගොඩක් සත්තු, ඒ කියන්නෙ එළුවෝ, හරක්, බල්ලෝ, කුකුළෝ, කුරුල්ලෝ වගේ නොයෙක් විදියෙ සත්තු වැස්ස කියලා වගක්වත් නැතුව ඔහේ තෙමි තෙමි ඉන්නවා. උන් වහිනවා කියලා නොදැන තෙමි තෙමි ඉන්නවා කියලා හිතන්නත් බැහැනේ. ඒ වුණත් පැය ගණන් හරි තෙමි තෙමි ඉන්න සත්තු ඕන තරම් ඉන්නවා...

ඉතින් ඇයි මිනිස්සු වෙන අපි නොතෙමී ඉන්න උත්සහ කරද්දි තිරිසන් සත්තු එහෙම උත්සහ කරනව දකින්න නැත්තේ?? කෙනෙක් කියාවි මිනිස්සු වෙන අපි බුද්ධියෙන් උසස් කියලා. වෙන්න පුළුවනි. ඒ බව විද්‍යාත්මක ව පහදන්නත් පුළුවන් ඇති. නමුත් කවදාවත් අපි හිතලා තියෙනවද සත්තු , මිනිස්සු විදියට එකිනෙකට වෙනස් ජාතියේ අය විදියට වෙන්වුණේ කොහොමද කියලා. ඒ ඇයි දන්නවද? ඒ අපි අතීත භවයන් (අතීත ආත්ම) වලදි කරගත්ත පින නිසාමයි ඔබත් මාත් සත්තු නොවී මිනිස්සු විදියට ඉපදුණේ. ඒ පින ම තමයි වැස්ස වෙලාවකදී ඔබත් මමත් මේ විදියට නොතෙමී ඉන්න ඕන කියලා හිතන්න පුළුවන් මට්ටමට පත් කළේ. ඒ පින නිසාමයි වැස්ස වෙලාවට ආවරණයක් සලසාගන්න උනන්දු වෙන්නෙ. ඉස්සර කළ පින අපිට මේ විදියට අපිට නොතෙමී ඉන්න උපකාර කළා ට සසරේ හැමදාමත් ඉස්සර කළ පින අපිට උපකාර කරාවි කියලා හිතන්න හොඳ නැහැ. මොකද පින කියලා කියන්නෙ ගෙවිලා යන දෙයක් නිසා, ක්ෂය වෙලා යන දෙයක් නිසා. හරියට බැංකු ගිණුමක් වගේ. කලින් තැන්පත් කළ මුදල් ටික ටිකෙන් ටික අපි අරගනිද්දි ගිණුම ක්ෂය වෙනවා වගේ... ඒ නිසා අපි අපේ බැංකු ගිණුමට මුදල් දාන්න උනන්දු වෙනවා වගේ ම, පින කියන ගිණුමත් වර්ධනය කරගන්න උනන්දු වෙන්න ඕන. එහෙම නැති වුණෝතින් අපි තිරිසන් සතුන් අතර උපදින එකක් නැහැ කියන්න කාටවත් බැහැ. එදාට මේ දැන් වගේ නොතෙමී ඉන්න උත්සහ කරන එකකුත් නැතිවේවි...

මේ ඔබට අළුතින් හිතන්නට යමක්........

5 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

මට්ටකුණ්ඩලී කතා වස්තුව ...


සැවැත් නුවර කෙළවර කර ඇති පාලු සොහොන් බිමකි. බොහෝ කල් ගිය මෙන් ම අලුත් මළ සිරුරු ද එහි බොහෝ සෙයින් දක්නට ලැබෙයි. ඇතැම් මළ සිරුරු වන සතුන් ගේ ගොදුරු බවට පත් ව ගොසිනි. ඇතැම් ඒවායේ නෂ්ට ව ඇත්තේ සුදු පැහැ ගැන්වුණු ඇට කැබලි පමණකි. ජනයාගෙන් ශුන්‍ය වූ සොහොනෙහි කෙළවරක මහ හඬින් ඉකි ගසමින් වැළපෙන බමුණෙකි. පාලු සොහොනෙහි හිඳින බමුණා, මියගිය සිය පුතු ගේ සිරුර තුරුළු කරගනිමින් මහත් ශෝකයෙන් යුතු ව හඬා වැටෙයි. විටෙක තමාට ම දෙස් දෙවොල් තබාගනියි. විටෙක නිවැසියන්ට ද දොස් පවරයි. "අහෝ මා වැනි අවාසනාවන්තයෙක්, මගේ එක ම පුතා කුඩා වයසේදී ම මා හැර ගියා නොවේදෝ, මගේ පුතාට නැවත නැඟී සිටින්නේ නම් කොයිතරම් මැනවිදෝ ..." ආදී වශයෙන් හේ වැළපෙයි. මොහොතකට පෙර ජනශුන්‍ය ලෙසින් දිස් වූ සොහොනෙහි තවත් හැඬුමක් බමුණා ට ඇසෙයි. ශෝකයෙන් යුතු ව වටපිට බලන බමුණාට දකින්නට ලැබෙන්නේ අහස දෙස බලමින් හඬනා මියගිය තම පුතුගේ ම වයසේ ම වැනි කුඩා දරුවෙකි. මදක් වික්ෂිප්ත වූ බමුණා කුඩා දරුවා වෙත ගොස් ආදරයෙන් ඇමතීය.

"පුංචි දරුවෝ... ඇයි ඔයා අඬන්නේ? "

"අනේ මාමේ, මගේ කරත්තයට රෝද දෙකක් නැහැ. ඒකයි මම අඬන්නේ "

"අනේ පුතේ , ඒක සුළු දෙයක්නෙ. ඔයාට ඕන රත්තරනින් රෝද දෙකක් ද නැතිනම් රිදියෙන් රෝද දෙකක් ද කියලා මට කියන්න. මම දෙන්නම් "

"ඒ එකක්වත් නෙවෙයි, මට ඕන රෝද දෙක තමයි ඉරයි හඳයි "

"ඈ මෝඩ දරුවෝ... ඉරයි හඳයි කොහොමද රෝද හැටියට කරත්තෙකට ගන්නේ ?"

"කවදාවත් ආයෙ නොලැබෙන, ඇස් දෙකටවත් පේන්නෙ නැති දෙයක් වෙනුවෙන් අඬන මාමා ද මෝඩ නැත්තම් අර ඇස් දෙකට වත් පෙනෙන ඉර හඳ ඉල්ලලා අඬන මම ද මෝඩ? "

බමුණු තෙමේ මහත් ලැජ්ජාවට පත් විය. හැඬුම නවත්වා හෙතෙම බර කල්පනාවකට වැටිණි. "ඇත්තෙන් ම නුවණැති දරුවෙක්නෙ. වැඩිහිටියෙක්වත් නොකියන කතාවක් නෙ මේ දරුවා කිව්වේ..." ආදී කෙලවරක් නැති සිතිවිලි බමුණාට ඇතිවිය.

"ඇත්තෙන් ම පුතේ ඔබ කවුරුන් ද ?" බමුණා කුතුහලයෙන් යුතු ව විමසීය.

මෙහිදී ළමා වේශය අත්හැර සිය ප්‍රකෘති ස්වභාවයෙන් ම පෙනී සිටි මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා මෙසේ පැවසීය. "පින්වත් බමුණ, මම මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා වෙමි. පෙර ජීවිතයේ ඔබේ පුත්‍රයා වෙමි. ඉතා සුළු කාලයක් භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ සරණ ගොසින් මේ සා ආනුභාවයන් ලදිමි. පියාණෙනි, දැන්වත් බුදු සමිඳුන් සරණ යන්න. ඔය මසුරු බව දුරලා දන් දෙන්න. සැප ලබන්න පින් කරන්න". මෙසේ පැවසූ මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා සැණෙකින් අතුරුදන් විය.

3 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ඔබත් සූදානම් ද ?


සුපුරුදු පරිදි එදිනත් බ‍්‍රාහ්මණතුමා තම පුත‍්‍රයා ද කැටුව පිටත් වූයේ සී සෑමේ කටයුතුවල නිරත වීමේ අපේක්ෂාවෙනි. වෙහෙසක් නොමැතිව දෙදෙනා වෙනදා මෙන් යුහුසුලූව තමන්ගේ වැඩකටයුතු වල නිරත වූහ. හිටිහැටියේ තමන්ට නුදුරින් වියළි තණ ගිනිදල්වමින් සිටි තම අදරැති පුතු බිම ඇද වැටෙනු දුටු බ‍්‍රාහ්මණතුමා වහා වහා එතැනට පැමිණියේය. ගිනි රස්නයෙන් කෝපයට පත් අසල ගසක සිටි නාගයෙක් තම පුතුට දෂ්ඨ කොට කැළය දෙසට ඇදෙනු බමුණා දිටීය. ඒ වන විටත් තම සෙනෙහබර පුතුගේ අවසන් සුසුම් පොද වාතලයට එක් වී හමාර බව බමුණා ට පසක් විය. දැන් කරන්නට දෙයක් නැත. පුතු මිය ගොසිනි…. ‘සර්පයෙක් දෂ්ඨ කරලා වුණත් මරණය සිද්ධවෙන්න පුළුවන්’ යැයි තමන් නිරන්තරයෙන් සිහිපත් කළ සත්‍යයයි එක්වරම බමුණාගේ සිතට නැගුණේ. බ‍්‍රාහ්මණතුමාගේ හැසිරීම් රටාවේ කලබල වූ ස්වභාවයක් පෙනෙන්නට නැත. හේ අසල කුඹුරක සිටි යහළු බමුණෙකු ඇමතී ය.

***********************************************************

…බොහෝ ඉස්සර බරණැස් නුවර ධර්මපාල කියලා බ්‍රාහ්මණ ගමක් තිබුණා. ඒ ගමේ ගොඩක් සමගියෙන් වාසය කළ පවුලක් හිටියා. ඒ පවුලේ හිටියෙ සාමාජිකයෝ හයදෙනයි. ඒ තමයි බ‍්‍රාහ්මණ පියතුමා, මව් බැමිණිය, පුත‍්‍රයා, දියණිය, පුතුගේ බිරිඳත් දාසියත් කියන හයදෙනා. මේ හැමෝම ගමේ අනිත් අයට වඩා සතුටින් සමගියෙන් ඉන්න එක්තරා විශේෂ හේතුවක් තිබුණා. ඒ තමයි උදේ හවස, නිතරම වගේ ජීවිතයේ යථා ස්වභාවය සිහි කරන්න ඒ අය පුරුදු වෙල හිටිය එක. ඒ තමයි තමනුත්, අනිත් ඉපදුණ සියලූ දෙනාත් මරණය උරුම කරගෙන ඉන්න බව සිහිපත් කරමින් නිරන්තරයෙන් ම මරණානුස්සති භාවනාව වැඩීම ඒ අය පුරුද්දක් කරගෙන හිටියා.ඒ මරණානුස්සතිය කොයිතරම් දුරට පුරුදු කරලා තිබුණ ද කියන්නේ, කවුරුහරි කෙනෙක් නිවසින් එළියට යද්දි අනිත් අයට සිහිපත් කළේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවයයි. ඒ විදියට අනිත් අයට අවවාද කරලා සිහිය පිහිටුවලා තමනුත් ජීවිතාපේක්ෂාවෙන් තොරව පිටත්වෙලා යනවා.

***********************************************************

"යහළුව, අපේ නිවසට ගොස් බැමිණියට දන්වන්න, ස්නානය කොට පිරිසිදු ඇඳුම් ඇඳ එක් බත් මුලක් පමණක් රැගෙන එන ලෙස”. බමුණාගේ පණිවුඩයෙන් සිදු වී ඇති දෙය තේරුම්ගත් නිවැසියෝ සියලූ දෙනා ම ස්නානය කොට පිරිසිදු ඇඳුම් ඇඳ ඉක්මනින් කුඹුරට පැමිණුන හ. අදරැති පුතුගේ, සොයුරා ගේ සැමියා ගේ නිසල සිරුර සියලූ දෙනාගේම ඇස් ඉදිරියේ දකින්නට ඇත. සියල්ලෝ ම සිටින්නේ ගැඹුරු කල්පනාවක නිමග්නව ය. සිදුවූ විපත ගැන දුකක් ශෝකයක් ඇති නමුදු කිසිවෙකුගෙන් ඒ බවක් නොපෙනෙයි. ඉකිබිඳුම් හඬකුදු ඇසෙන්නට නැත්තේ ය.

මේ ඇස් පනාපිට දකින්නට ඇතිතේ තමන් නිතර සිහිපත් කළ නො වෙනස් සත්‍යය ම නොවේදැයි ඔවුන් සිතනවා විය යුතුයි. බමුණුතුමා ජල ස්නානය කොට ආහාර අනුභව කළේ ය. ඉන් අනතුරුව සුවඳ ගැල්වූ මෘත ශරීරය සෑයකට නංවා ගිනි දැල්වීය. සියල්ලෝ නොහඬා නමුත් කිසියම් සංවේගයකින් යුතු ව එදෙස බලා සිටිති. මිය යන්නට යෙදුණු බ‍්‍රාහ්මණ තරුණයා රැස්කරන්නට යෙදුණු පින්වල ආනුභාවය නිසාවෙන් ම ඒ වනවිට දෙදෙව්ලොවට අධිපති සක්දෙව් රජව ඉපිද සිටියේ ය. තම ඥාති පිරිස කෙරෙහි උපන් අනුකම්පාවෙන් ඒ ක්ෂණයෙහි ම බමුණු වෙස්ගෙන දැවෙන සෑය අභියස පෙනී සිටින්නට විය. හෙතෙම තම පියාණන් ඇමතීය.

" පින්වත්නි, ඔබලා මේ දවන්නේ මුවෙක් ද? මම ද බඩගිනි ඇත්තෙමි. ඒ නිසා මට ද කොටසක් ලැබුණොත් යහපති.”
" නැත බමුණ, මේ මුවෙක් නොව මිනිසෙකි.”
" කිම? මේ දවන තැනැත්තා ඔබේ සතුරෙක් ද?”
" නැත බමුණ. මේ අපගේ සතුරෙක් නො වෙයි. මනා ගුණවත් වූ අපගේ එකම තරුණ පුත‍්‍රයා ය.”
" අහෝ පුදුමයකි…! එබඳු ගුණවත් එකම තරුණ පුතා මළ කල්හි කුමක් නිසා නම් ඔබලා ශෝක නො කරන්නේ ද?”

බ‍්‍රාහ්මණ පියතුමාගෙන් ඒ සඳහා ලැබුණේ අභිමානවත් පිළිතුරකි.

" සර්පයා කරන්නේ තමන්ගේ හැව දිරල ගිය විට ඒක ශරීරයෙන් අත් හරින එකයි. අන්න ඒ වගේ මේ ශරීරයෙනුත් ප‍්‍රයෝජනයක් ගන්න බැරිවෙන කොට සිරුර අතහැරලා කලූරිය කරනවා. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

එම පිළිතුරෙන් බොහෝ සෙයින් සතුටට පත් වු බමුණු වෙස් ගත් සක් දෙවිඳු ඉන් අනතුරුව තමන්ගේ පෙර මෑණියන් වහන්සේ වෙත එළඹුණි.

‘‘මෑණියනි, මේ මළ තැනැත්තා ඔබේ කවරෙක් ද?”
‘‘පින්වත, මේ මම දස මසක් කුස හොවා බිහි කොට ආදරයෙන් කිරි පොවා අත් පා වඩා ලොකු මහත් කරන ලද මගේ එකම පුත‍්‍රයායි.”

‘‘මෑණියනි, පියා නම් පුරුෂභාවයෙන් නො හඬනවා විය හැකියි. එහෙත් මවකගේ හදවත මෘදු ය. උණු වෙන සුලූ ය. ඉතින් කෙලෙසකින් නම් ඔබ නො හඬා සිටිනවා ද?”

‘‘පින්වත, එයා පරලොවින් මෙලොවට ආවේ අපි අඬ ගහල නො වෙයි. එයා මෙලොවින් පරලොව ගියෙත් අපේ අවසර අරගෙන නො වෙයි. යම් ආකාරයකට ආවා ද ඒ ආකාරයෙන් ම යන්ට ගියා. ඉතින් එහෙම එකේ වැළපීමේ අරුත කුමක් ද? ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

මව් බැමිණියගෙන් ලැබුණේ ද පියාගෙන් ලද පිළිතුරට නො දෙවෙනි ගම්භීර පිළිතුරකි. ඊළඟ පැන විමසීම යොමු වූයේ සොහොයුරියට යි.

" නැගණියනි, මේ මළ තැනැත්තා ඔබේ කවරෙක් ද?”
" මාගේ එකම සෙනෙහෙබර සොහොයුරා ය.”

" නැගණියනි, සහෝදරියෝ නම් සහෝදරයන් කෙරෙහි ආදරය ඇත්තාහු ය. සෙනෙහෙවන්තියෝ ය. නමුත් ඔබ ද නො හඬයි. හේතුව කුමක් ද?”

" ඉතින් මම හඬන්නට ගියොත් වෙන්නේ කෙට්ටු වෙන එක විතරයි. එ් හැඬීමෙන් මට ඇති පලේ මොකක්ද? අපේ නෑදෑ හිතමිතුරන්ටත් මා ගැන ඇතිවෙන්නෙ නො ඇල්ම විතරයි. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

ඊළඟ වාරය බිරිඳගේ ය.

" පින්වතිය, මියගිය තැනැත්තා ඔබේ කවරෙක් ද?”
" පින්වත, ඒ මාගේ සෙනෙහෙබර ස්වාමියා ය.”

" සොහොයුරිය, ස්ත‍්‍රීහූ නම් තම ස්වාමියා කෙරෙහි ස්නේහ ඇත්තියෝ වෙති. ස්වාමියා මළ කල්හි ඕ තොමෝ වැන්දඹු වන්නී ය. අනාථ වන්නී ය. එසේ තිබියදීත් ඔබවත් නො හඬන්නේ ඇයි?”

" පොඩි දරුවෙක් සිටියා. එයා ආකාසයේ ගමන් කරනා සඳ ඉල්ලා ඇඬුවා. යමෙක් මියගිය උදවිය උදෙසා අඬනවා නම් ඒකත් අර පොඩි දරුවගෙ හැඬීම වගේ ම එකක්. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

බිරිඳගේ පිළිතුරෙන් ද සතුටට පත් හෙතෙම අවසාන වශයෙන් දාසිය කරා එළැඹුනි.

" නැගණියනි, මිය ගිය තැනැත්තා ඔබේ කවරෙක් ද?”
" බමුණ, ඔහු මගේ අයිතිකරු වූ ස්වාමියා යි.”

" එසේ නම් ඔබ නො හඬන්නේ මේ නිසා විය යුතු ය… ‘ මා ඔහුට වතාවත් කළා. නමුත් ඔහු මට නිතර දඬුවම් කළා. දැන් ඒ දෙකෙන් ම මා නිදහස් වුණා..’ කියා ඔබ සිතනවා ඇති.”

" එසේ නො කියනු මැනව. මගේ ස්වාමියා ඉවසීමෙන් ද මෛත‍්‍රියෙන් ද දයාවෙන් ද යුත් අයෙකි. ඔහු මට මගේ කුසෙන් වැදු දරුවෙක් බඳුයි.”
" එසේ නම් ඇයි ඔබ ශෝක නො කරන්නේ?”
" පින්වත් බ‍්‍රාහ්මණය, මැටි කළයක් බිඳිල ගිය විට ඒක ආයෙමත් පැරණි විදිහට ම සකස් කරන්න බෑ. යමෙක් මිය ගිය අය උදෙසා හඬනවා නම් අන්න ඒකත් ඒ වගේ දෙයක් තමයි. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

තම ඥාතීන්ගේ ජීවිතාවබෝධය පිළිබඳව බොහෝ සෙයින් සතුටට පත් වූ සක් දෙව් රජ තෙමේ ඔවුන්ට බොහෝ සැප සම්පත් ලබා දී නැවතත් දෙව්ලොවට වැඩිය හ. අන් සියලූ දෙනා ම ද මරණානුස්සති භාවනාව වැඞීමේ කුසලයෙන් මරණින් මතු සුගති සැප හිමි කරගත් හ.

*********************************************************************

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෙනෙක් මැරුණට පස්සේ ශක්තිමත් පුරුෂයෙක්, දිගහැරිය අතක් නවන්නට යන තරම් සුළු කාලයක් ඇතුලත ගිහින් තවත් තැනක උපදිනවා. ඒ නිසා තමයි බමුණු තරුණයා ට ශක්‍ර දෙවියන් විදියට ඉපදිලා තමන්ගේ ඥාතීන් හමුවෙන්න එන්න පුළුවන් වුණේ. කෙනෙක් මැරුණට පස්සෙ ක්‍රියාකාරිත්වය කොහොමද කියලා කියවන්න කැමති අය ඉන්නව නම් මෙතැනින් ගිහින් ඒ ලිපි‍යත් කියවන්න. මේ ජීවිතය කියන්නේ සංසාරයේ එක තාවකාලික නවාතැන්පොළක් විතරයිනෙ. ඉතින් හමුවීම්, වෙන්වීම් අප්‍රමාණයි. ඒ හැම එකක් ගානෙ ම දුක්වෙන්න ගියොත්..... ? ඒ නිසා අපි යථාර්තය තේරුම් ගන්න උත්සහ කරන්න ඕන. අපි මළගෙදරකට ගියත් කවදාවත් මේ යථාර්තය හිතන්නෙ නැහැනේ. හිතන්න උත්සහ කරන්නෙත් නැහැ නේ අපිත් මැරෙන අය කියලා. මරණානුස්සති භාවනාව ඉගෙනගන්න කැමති අය මෙතැනින් බලන්න.

මේ කතාව මම ඇහුවෙ රේඩියෝ එකෙන්. ලියන්න ඕන කියලා හිත හිතා ඉද්දි මේ කතාව ඇතුළත් ඊමේල් එකක් ආවා මහමෙව්නාවේ පින්වත් ස්වාමින් වහන්සේ කෙනෙක් ලිව්ව. ඉතින් ලියද්දි ඒකෙනුත් යම් යම් කොටස් උපුටලා ගත්තා. ඒ ස්වාමින් වහන්සේටත් පුණ්‍යානුමෝදනා වේවා! සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් ලිව්වේ. පහුගිය මාස වල ටිකක් විතර කාර්යබහුල වුණත් දැන් නම් ටික ටික විවේකය තියෙනවා. ඒ නිසා ඉදිරි මාස වල දිගටම ලියන්න ලියලා තමයි හිතාගෙන ඉන්නෙ.....

5 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

මැස්සෙක් නිසා...


අද පෝය දවස නිසා මට හිතුණා ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්නෝන කියලා. මේ බණ කතාවක්මත් නෙවෙයි, ඒත් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා හිතුණ නිසා කියන්න හිතුණා. හැමෝම දන්නවනේ ලංකාවේ බිහිවුණු ශ්‍රේෂ්ඨ නරපතියෙක් වුණ දුටුගැමුණු රජතුමා. එතුමාගේ පියා තමයි කාවන්තිස්ස රජතුමා. මෑණියන් තමයි වීර කාන්තාවක් වෙන විහාර මහා දේවිය. ඇගේ පියා තමයි කැළණිතිස්ස රජතුමා. ඔය කැළණිතිස්ස රාජ පරම්පරාවට අයිති කතාවක් තමයි මේ කියන්න යන්නේ.

කැළණිතිස්ස රජතුමා, රහතන් වහන්සේ නමක් ව උණුතෙල් කටාරමක දාපු කතාව හැමෝම දන්නවනේ, ඒත් උන්වහන්සේ ට එහෙන විපාකයක් විඳින්න වුනේ ඇයි කියන එක ගැන නම් ගොඩක් අය දන්නේ නැතුව ඇති නේද? ඒ ගැන කියන්නයි මේ ලෑස්තිය. ම්ම්ම්...ඒත් ඊට කලින් මම අර කතාවත් කියලා ඉන්නම්කෝ. කැළණිතිස්ස රජතුමාට හිටියා සහෝදරයෙක් උත්තිය කියලා. මේ කුමාරයා අග බිසවත් එක්ක, ඒ කියන්නේ කැළණිතිස්ස රජතුමාගේ මෙහෙසියත් එක්ක අයථා සම්බන්ධයක් ඇති කරගෙන තිබුණා. කාලයක් රහසක් වෙලා තිබුණ මේ ආරංචිය කැළණිතිස්ස රජතුමාගේ කණට වටෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. මේකේ ප්‍රතිඵලය වුනේ උත්තිය කුමාරයා සිරභාරයට ගන්න කියලා රාජ නියෝගයක් නිකුත් වුන එක. ඒ බව ආරංචි වුන උත්තිය කුමාරයා හොරෙන් ම පැනලා ගිහින් හැංගුණා. කොහොම උනත් මේ තනිකම උත්තිය කුමාරයාට ඉවසන්න අමාරු උණා. ඒ නිසා ම කුමාරයා තීරණය කලා තමන්ගේ ප්‍රේමවන්තියට තමන්ගේ දුක කියලා හසුනක් යවන්න. මේ දූත කාර්යය බාර වුන තරුණයා කලේ රජ මැදුරේ දානයක් තියෙන දවසක් බලලා මහණ වෙස් අරන් රජ මාළිගයට ගිය එක. භික්ෂූන් වහන්සේලා එක්කම දානේ එහෙම වළඳලා භික්ෂු පිරිස පසුපසින් එළියට ගමන් කරනවා. රාජ මෙහෙසිය බලාගෙන හිටිය වෙලාවක් බලලා අර උත්තිය කුමාරයාගේ හසුන ලිව්ව තල්පත බිමට දැම්මා දේවියට පෙනෙන්න. දේවිය මේ තල්පත අතට ගන්නවා රජතුමා දැක්කා. රජතුමා මේ තල්පත පරීක්ෂා කරලා බලද්දි අර සඟ පිරිසේ හිටිය රහතන් වහන්සේ නමකගේ අත් අකුරුත් මේ අත් අකුරුත් එක හා සමානයි ලු. ඒ නිසා මේ රහතන් වහන්සේ හා රජ මෙහෙසිය අතර සම්බන්ධයක් තියෙනවා කියලා නිගමනය කළ කැළණිතිස්ස රජතුමා, අර රහතන් වහන්සේ ව උණු තෙල් කටාරමක බහා මරණයට පත් කරන්න නියෝග කලා.

මේ කතාව මහාවංශය, රාජාවලිය, රසවාහිනිය වගේ සාහිත්‍ය මුලාශ්‍ර වල ජනප්‍රිය කතාවක්. දැන් කියන්නම්කෝ අර රහතන් වහන්සේ ට උණු තෙල් කටාරමක පිරිනිවන් පාන්න වුනේ ඇයි කියලා. උන්වහන්සේ පෙර ආත්මයක ගොපල්ලෙක් වෙලා ඉපදිලා ඉද්දි හිතාමතා ම මැස්සෙක් ව කිරි මුට්ටියක දාලා උණු කිරීමේ විපාක විදියට තමයි එහෙම වෙලා තියෙන්නේ. ඒ බව පුබ්බේ නිවාසානුස්සති ඤාණය උපදවා ගෙන හිටිය රහතන් වහන්සේට සිහි කරගන්න පුළුවන් වුනා කියලා තමයි සඳහන් වෙනවා. ඒ වගේම උන් වහන්සේ පැහෙන තෙල් කටාරමේ වැඩ ඉද්දි ම ගාථා සීයක් දේශනා කරලා කරලා තියෙනවා ථේර කටාහ ගාථා නමින් මිනිස්සුන්ට අවවාද විදියට.....

අපි නොසැලකිල්ලෙන් කරන පුංචි පුංචි වැරදි ගොඩක් එකතු වුනා ම ලොකු වැරද්දක් බවට පත් වෙනවා කියලා දැනෙන්නෑ අපි කාටවත් ම....එහෙම නේද? ඒ වගේ ම කර්ම විපාක දෙන හැටිත් පුදුම සහගතයි නේද? සාමාන්‍ය මිනිස් මනසකට ඒක තේරුම් ගන්න බැරි, අචින්ත්‍ය දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළෙත් ඒනිසා වෙන්න ඇති!

17 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

පාත්‍රය...


සිටුතුමනි... සිටුතුමනි..., ඔබතුමා හමුවීමට රජගහනුවර ප්‍රධාන වෙළෙන්දා පැමිණ සිටිනවා. රජගහනුවර ප්‍රධාන සිටුවරයා වූ වාසෙට්ඨ හමුවට ආ සේවකයෙකු එසේ පැවසූ විට "හොඳයි, මා සුළු මොහොතකින් පැමිණෙන බව ඔහුට පවසන්න, එතෙක් වෙළෙන්දා ට ආසන පනවා හොඳින් ආහාර පානාදියෙන් සංග්‍රහ කරන්න."

"සුබ උදෑසනක් වේවා සිටුතුමනි".

"සුබ උදෑසනක් මිතුර, කිමෙක්ද බොහෝ කලෙකින් අප මතක් වූයේ? අමනාපයක් වත් ද? "

"අනේ සිටුතුමනි, අමනාපයක් නොවෙයි, මෙවර වෙළඳාම සඳහා අප ගියේ බොහෝ දුර ඈතකටයි, ඒ නිසා නැවත පැමිණෙන්නට සිතුවා ට වඩා බොහෝ කල් ගතවුණා. මා ඔබතුමා හමුවට හදිසියේ ම පැමිණුනේ මට එහි දී හමු වූ වටිනා වස්තුවක් ඔබතුමාට දීමටයි"

"එ කිමෙක්ද මා මිතුර ?"

"මා දන්නවා ඔබතුමා බොහෝ සේ සඳුන් ලී වලට ප්‍රිය කරන බව. එසේ ම මා දැක තිබෙනවා සිටු මාළිගයේ තිබෙන අනර්ඝ සඳුන් ලී කැටයම් වලින් නිර්මිත භාණ්ඩ. ඉතින් මා සිතුවා වෙළඳාම අතරතුර මා ලද මේ වටිනා සඳුන් ලී කැබැල්ල ඔබතුමා ට දීමට, ඒ මන්ද යත් මෙය ලද විට මට එකවර ම මතක් වුණේ ඔබතුමායි "

"ඔබට බොහෝ ම ස්තූතියි මිතුර, මා පමණක් නොවෙයි අපේ පරම්පරාවේ හැමදෙනා ම පාහේ සඳුන් ලී වලට බොහෝ සේ ඇළුම් කළා. මේ මාළිගයේ තිබෙන්නේ මා විසින් කරවූ සඳුන් ලී කැටයම් වලින් නිර්මිත භාණ්ඩ පමණක් නොවේ. මගේ පියා, ඔහුගේ පියා, ඔහුගේ ත් පියා ආදි වශයෙන් බොහෝ දෙනා කරවූ භාණ්ඩ මෙහි තිබෙනවා. මා සිතන්නේ අපේ මහ රජතුමාට වත් මෙපමණ අනර්ඝ සඳුන් ලී කැටයම් නැතැයි කියායි. ඉතින් ඔබට නැවතත් බොහෝ ම ස්තූතියි"

"එසේ නම් සිටුතුමනි මට යන්නට අවසර, අපට කළයුතු බොහෝ වැඩ තිබෙනවා නොවැ..."

වෙළෙන්දා ඒ අයුරින් නික්ම ගියත් සිටුතුමා ගේ කල්පනාව වූයේ මේ සඳුන් ලීයෙන් කළයුත්තේ කුමක්දැයි කියායි. ඇත්තෙන් ම අළුතින් නිර්මාණය කරවිය යුතු කිසිවක් සිටුවරයාගේ මතකයට නො එන තරමට සිටු මාළිගය කැටයම් භාණ්ඩ වලින් අනූන එකක් විය. දින ගණනාවක් නොයෙක් අදහස් අතර සැරිසැරූ සිටුවරයාට එක්වර ම කදිම අදහසක් පහළ විය. වහා ම තම වඩුවා කැඳවූ සිටුවරයා, ඔහුට නියෝග කළේ සඳුන් ලීයෙන් මනරම් පාත්‍රයක් කරවන ලෙසයි. වඩුවා පාත්‍රය සාදන අතරතුරේ තම සේවකයන් කැඳවූ සිටුවරයා ඔවුන් ට දැන්වූයේ බොහෝ උස උණ ගස් කිහිපයක් කපාගෙන විත් ඒවා හොඳින් එකිනෙක ගැටගසා ඉතා උස කණුවක් පිළියෙල කරන්නට කියායි. වඩුවා විසින් කර වූ අනර්ඝ සඳුන් ලී පාත්‍රය යටි අතට හරවා උණ ගස් වලින් කරවූ කණුව කෙළවරේ රැඳ වූ සිටුවරයා තම සේවකයන් ට නියෝග කළේ එය ගෙනගොස් නගරය මැද සිටවන ලෙසයි. ඉන්පසු නගරය පුරා අණබෙරයක් යවමින් "ලෝකයේ රහතුන් යැයි සම්මත කිසිවෙක් සිටී නම් තමන් ගේ ඍද්ධි බලයෙන් මේ අනර්ඝ සඳුන් ලීයෙන් කර වූ පාත්‍රය ගනිත්වා" යි දන්වා සිටියේ ය.

නගරයේ මෙතෙක් නොවූ විරූ මහත් වූ කෝලාහලයක් පැතිර ගියේ ය. නමුත් කිසිවෙක් පාත්‍රය ගන්නට නම් ඉදිරිපත් නොවී ය. නමුත් සිටුවරයා වෙත රහසේ පැමිණෙන පණිවුඩකරුවන්ගෙන් නම් අඩුවක් නැත.

…"සිටුතුමනි, අපේ ගුරුවරයා නම් නිසැකව ම රහතන් වහන්සේ කෙනෙකි, නමුත් එතුමා ඍද්ධි බලයන් සාමාන්‍ය මිනිසුන් හමුවේ විදහා පාන්නට අකමැතියහ . ඒ නිසා අනාගතයේ බොහෝ සැප ලබාගනු වස් අපගේ ගුරුවරයාට මේ පාත්‍රය පූජා කළ මැනව"

"ඔබගේ ගුරුවරයා රහත් කෙනෙක් නම් පහසුවෙන් මේ පාත්‍රය ගතහැකි නොවේද? එනිසා අප වෙහෙසට පත් නොකර ඍද්ධි බලයෙන් මේ පාත්‍රය ලබාගන්න" ඒ පණිවුඩකරුවන් සියල්ල ට ම සිටුතුමාගේ පිළිතුර එක ම විය.

මේ අතර රජගහනුවර නිඝණ්ඨයන් ගේ ආරාමයේ මේ ආකාරයේ කථාවක් ඇතිවිය.

"ස්වාමිනී, ජෛන මහාවීර නිඝණ්ඨනාථපුත්තයන් වහන්ස, රජගහනුවර සිටුවරයාගේ පාත්‍රය කෙසේ හෝ අප වෙත ලබාගන්නට නොහැකි වුවහොත් අපට වන්නේ මහත් ම පාඩුවකි. ඔබ වහන්සේ රහත් කෙනෙකු ලෙස සලකා අපට දන් පැන් පූජා කරන බොහෝ දෙනා අප කෙරෙහි අපැහැදීමක් ඇතිකරගනු නො අනුමාන ය. එහෙයින් නොපමා ව කිසිවක් කළ යුතු ය. එසේ ම අප සිටුවරයා වෙත යැවූ පණිවිඩකරු ද පෙරළා හරවා එවා තිබෙන බව සැලයි. කුමක් හෝ කළ මැනව "

"එසේ නම් මා විසින් ම ගොසින් රජගහනුවර සිටුවරයා හමුවෙන්නෙමි, ඔහු අපට බොහෝ හිතෛෂී, නිතර දන් පැන් දෙන කෙනෙක් නොවැ. ඒ නිසා ඔහු මට පාත්‍රය පූජා කරනු නියතයි. යම් හෙයකින් එසේ පාත්‍රය ලබාගන්නට නොහැකි වුවහොත් එය උපක්‍රමයකින් ලබාගනිමු." ජෛන මහාවීර නිඝණ්ඨනාථපුත්ත තුමා තම ශ්‍රාවකයන් ට එසේ පවසා තෙමේ ම ගෝලයන් පිරිවරා රජගහනුවර සිටුවරයා හමුවන්නට ගියේ ය. 

"පින්වත් සිටුතුමනි, රහතුන් ට අභියෝග කිරීම මේ ලෝකයේ අතිශයින් ම නොකළමනා ය. ඒ නිසා නොපමා ව පාත්‍රය මා වෙත පූජා කළ මැනව."

"නිඝණ්ඨනාථපුත්තයන් වහන්ස, මේ නම් ඔබ වහන්සේ ගේ රහත් බව ලෝකය හමුවේ ප්‍රකට කිරීමට කදිම අවස්ථාවකි. ඒ නිසා අප වෙත අනුකම්පාවෙන් ඍද්ධි බලයන් පා පාත්‍රය ගනු මැනව "

"හොඳයි සිටුතුමනී, එසේ නම් මා විසින් ම ඍද්ධි බලයෙන් මේ පාත්‍රය ගන්නෙමි. මාගේ ශ්‍රාවකයෙනි, ඍද්ධි බලය විදහා පෑම පිණිස මේ පිරිස මඳක් ඈත් මෑත් කළ මනා ය. "

නිඝණ්ඨනාථපුත්තයන් ඍද්ධි බලය පෑමට පා ඔසවනවාත් සමඟ ම එතුමා අල්ලාගත් ශ්‍රාවක පිරිස "ස්වාමීනී අපගේ දිවි යතත් ඔබතුමාට ඍද්ධි බල පෑමට නම් ඉඩ නොදෙමු. මේ සා නොවටිනා පාත්‍රය ක් වෙනුවෙන් වෙහෙස නොවනු මැනව. " යනුවෙන් පැවසූ ශ්‍රාවක පිරිස නිඝණ්ඨනාථපුත්තයන් අල්ලාගෙන නිඝණ්ඨාරාමය වෙත ගෙන ගියෝ ය.

මේ අතර දර කඩා විකිණීම ජීවිකාව කරගත් දර කඩන්නන් දෙදෙනෙක් අතර මහ වනය මැද දී මෙවැනි කථාවක් ඇතිවිය. "ඉස්සර නම් මේ රජගහනුවර අපි රහත්... අපි රහත් කියලා කියාගත්ත අය කී …දෙනෙක් නම් හිටියද? කෝ ඒ එක්කෙනෙක්වත් අපේ සිටුතුමා ගේ පාත්‍රය ගන්න ආවද, නෑනේ. බලාගෙන ගියා ම මේ ඔක්කොම බොරුකාරයෝ වගේ නේද? මේ ලෝකය රහතුන් ගෙන් හිස් වෙලාවත්ද..."

ඒ කැලය මැද වූ ගල්තලාවේ විවේකී ව වාසය කළ භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකි. ඒ මුගලන් මහ රහතන් වහන්සේ සහ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේයි. උන් වහන්සේලාට මේ දර කපන්නන්ගේ කථාව ඇසුණි. උන් වහන්සේලා අතර ඇති වූ කථාව මෙබඳු විය.

"ආයුෂ්මත් භාරද්වාජයන් වහන්ස, ඔබ වහන්සේට ඇසුණාද ඒ දර කපන්නා ගේ කථාව? ඇයි ඔබ වහන්සේ ඍද්ධි බලයෙන් මේ පාත්‍රය දිනා ගෙන ලෝකයේ රහතන් වහන්සේලා තවමත් වැඩ වාසය කරන බව ලෝකයට කියාපාන්නේ නැත්තේ? "

"ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්ස, එසේ ය, මටත් එය ඇසුණා. නමුත් ඔබ වහන්සේ නොවේද ඍද්ධි බල ලාභීන් අතර අග්‍රස්ථානයේ සිටින්නේ. එනිසා ඔබ වහන්සේට පහසුවෙන් මේ පාත්‍රය දිනාගත හැකි නොවේ ද ?"

"ආයුෂ්මතුන් වහන්ස, මේ බොහෝ දෙනා අතර මාගේ ඍද්ධි බලය බොහෝ ප්‍රකට එකකි. බොහෝ දෙනා ඒ ගැන දනිති. නමුත් ඔබ වහන්සේගේ හැකියාවන් බොහෝ දෙනා අතර ප්‍රකට නැත. ඒ නිසා එය ලෝකයට ප්‍රකට කිරීමට මේ පාත්‍රය ඔබ වහන්සේ ම දිනාගනු මැනව. "

…"ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්ස, එය නම් ඇත්තකි." එසේ ප්‍රකාශ කළ පිණ්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේ රැඳී සිටි ගල් තලාව සමඟ ම අහසට පැන නැඟී රජගහනුවරට ඉහළ අහස වටා සත්වරක් ගල්තලාව මතින් ගමන් කළ හ. ගල්තලාවක් ඉහළ අහසේ කරකැවෙමින් තිබෙනු දුටු නුවර වැසියෝ මහත් භීතියට පත් වී මහත් වික්ෂිප්ත බවට පත් වූහ. තවත් මොහොතකින් මේ ගල්කුළ තම හිස් මතට කඩා වැටෙතැයි සිතූ වැසියෝ මහ හඬින් විලාප නගන්නට වූ හ. එවිට ගල්කුළ මතින් භාරද්වාජයන් වහන්ස අහසට වැඩ නුවර වැසියන්ට තමන් වහන්සේ පෙනෙන්නට සැලැස්වූ හ. 

"අනේ ස්වාමිනි අප බේරාගනු මැනව. තව සුළු මොහොතකින් ඔය මහා ගල් තලාව අප හිස් මතට කඩා වැටෙනු නියතයි... "…යනුවෙන් නුවර වැසියෝ විලාප තබන්නට වූහ. ඒ සමඟින් ම තම පාදයෙන් ගල් තලාව ස්පර්ශ කළ පිණ්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේ ගල් තලාව වනයේ තිබූ තැනටම වැටෙන්නට සලස්වා තමන් වහන්සේ පාත්‍රය සහිත කණුව අසල අහසේ පළඟක් බැඳ වැඩ සිටිය හ. ඒ සමඟින් ම එළියට බට රජගහනුවර සිටුවරයා "අනේ ස්වාමිනී අප කෙරෙහි අනුකම්පාවෙන් පහළට වැඩිය මැනව " යනුවෙන් යදින්නට විය. තම සේවකයන් අණවා පාත්‍රය බිමට ගත් සිටුවරයා බිමට වැඩි පිණ්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේට පාත්‍රය පූජා කලේ ය. පාත්‍රය පිළිගත් පිණ්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේ වේළුවනාරාමයට වඩිනා විට නුවර වැසි ජනයා මහ හඬින් සාධුකාර දෙමින් මහ පෙරහරින් වේළුවනාරාමය දෙසට ඇදෙන්නට වූ හ.

මේ අතර වේළුවනාරාමයේ වැඩ සිටි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මේ මහා ඝෝෂාව ඇසිණි. උන්වහන්සේ ඒ කුමක්දැයි කියා උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේගෙන් විමසූ හ.

"ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, අපගේ භාරද්වාජයන් වහන්සේ ඍද්ධි බලයෙන් රජගහනුවර සිටුවරයා ගේ පාත්‍රය දිනාගෙන, ඒ බව දුටු මිනිස්සු මහ පෙරහරින් වේළුවනාරාමයට පැමිණෙන හඬයි ඒ ඇසෙන්නේ " යනුවෙන් ආනන්ද ස්වාමින් වහන්සේ පිළිතුරු දුන් හ.

"එසේ නම් ඒ භාරද්වාජ භික්ෂුවට මා හමුවට පැමිණෙන ලෙස දන්වන්න " යනුවෙන් බුදුරජාණන් වහන්සේ පැවසූ හ. සුළු වේලාකින් තමන් හමුවට පැමිණි පිණ්ඩෝල භාරද්වාජ භික්ෂුවගෙන් බුදුරජාණන් වහන්සේ මෙසේ විමසූ හ.

"පින්වත් භික්ෂුව, ඔබ රජගහනුවර සිටුවරයා ගේ පාත්‍රය දිනාගත් බව සැබෑවක් ද? "

"එහෙමයි ස්වාමිනි, මා එය දිනාගත්තා. "

"පින්වත් භික්ෂුව, උතුම් වූ අරමුණක් වෙනුවෙන් මහත් ශ්‍රද්ධාවෙන් ම මේ බුද්ධ ශාසනයේ පැවිදි වූ කුල පුත්‍රයෙකු උත්තරීතර මනුෂ්‍ය ධර්මයක් මේ සා ලාමක වූ දෙයක් වෙනුවෙන් යෙදවීම එවැන්නෙකුට අතිශය නොගැළපෙන කටයුත්තකි. " යනුවෙන් වරදට ගර්හා කළ සේක. එවිට පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අවබෝධයෙන් යුතුව ම වරද වටහා ගත් හ.

එමෙන් ම පසු දිනකදී බුදුරජාණන් වහන්සේ මහා සංඝයා මධ්‍යයේදී

"පිණ්ඩෝල භාරද්වාජ භික්ෂුව සිංහනාද පවත්වන්නට හරී ම දක්ෂයි. දවසක් පිණ්ඩෝල භාරද්වාජ භික්ෂුව බුදුරජාණන් වහන්සේ හමුවේ තමන් වහන්සේ ගේ අරහත්වය ප්‍රකාශ කිරීමෙන් පස්සේ විහාරයේ දොරක් දොරක් ගානේ ගිහින් භික්ෂූන් වහන්සේලා අමතලා කියනවා, ආයුෂ්මතුන් වහන්ස, ඔබ වහන්සේලා කාටහරි සෝවාන් ඵලය ගැන හරි සෝවාන් මාර්ගය ගැන හරි සැකයක් තියෙනවා නම් මගෙන් අහන්න. මට හොඳින් ඒ ගැන කියාදෙන්නට පුළුවනී කියල සිංහනාද කළා. " කියලා බුදුරජාණන් වහන්සේ, පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට ප්‍රශංසා කළා.

18 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

මිනී මස් වැළඳූ භික්ෂුවක්...


ඒ කාලේ බරණැස් නුවර වාසය කළ එක්තරා භික්ෂූන් වහන්සේ කෙනෙක් අසනීප වෙලා ඒ වෙනුවෙන් විරේක බෙහෙතක් වළඳමින් හිටියා. මේ විරේක බෙහෙත වැලඳුව නිසා ම උන්වහන්සේ ට මස් ව්‍යංජනයක අවශ්‍යතාවය දැනුණා. සුප්පිය උපාසක තුමත් සුප්පියා උපාසිකාවත් වාසය කළේ මේ බරණැස් නගරයේමයි. මේ දෙදෙනා ම සෝවාන් ඵලයට පත් වුණ දෙන්නෙක්. මේ දෙන්නගෙ නිතර තිබුණ පුරුද්දක් තමයි ගිලන් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරන්න නිතර විහාරයට යන එක. විහාරයට ගිහින් ගිලන් භික්ෂූන් වහන්සේලා ගේ කුටියක් පාසා ගිහින් සුවදුක් විචාරන එක වගේ ම උවමනා බෙහෙත් වර්ග සපයන එක බොහොම කැමැත්තෙන් කළා. "ස්වාමිනී, ගිලන් වී සිටින්නේ කවර භික්ෂුව ද? ගෙනැවිත් දියයුත්තේ කවර නම් දෙයක් ද?" කියලා වෙනදා වගේ ම එදත් සුප්පියා උපාසිකාව විමසුවා. එතකොට මස් ව්‍යංජනයක අවශ්‍යතාවය තිබුණ භික්ෂුව, මේ විදියට කිව්වා. "පින්වත් නැඟණියනි, මවිසින් විරේක බෙහෙතක් වළඳන ලද්දෙමි. මා හට මස් ව්‍යංජනයක් ලැබුණොත් ප්‍රයෝජනවත් ය."

ඒ බව ඇහුව සුප්පියා උපාසිකාව "ආර්යන් වහන්ස මැනවි, එය ඔබවහන්සේ හට ගෙනෙනු ලබන්නේ ය." යනුවෙන් පවසලා වහා නිවසට ගිහින් සේවකයෙක් යැව්වා කඩපිලට, විකිණීමට තියෙන මසක් සොයාගෙන එන්න. ඒ වුණත් මුළු බරණැස් නුවර පුරා ම ඇවිදලත් කිසිම මසක් හොයාගන්න බැරිවුණ සේවකයා හිස් අතින් ම සුප්පියා උපාසිකාව හම්බවෙලා මේ විදියට කිව්වා. "ආර්යාවෙනි, වෙළඳපොළේ විකිණීමට කිසිදු මසක් නැත, අද සතුන් නොමරන මාඝාත දිනයයි". ඒක ඇහුව සුප්පියා උපාසිකාව මේ විදියට හිතනවා. "ඒ ගිලන් වූ භික්ෂුවට මස් ව්‍යංජනය නොලැබුණෝතින් අසනීපය වැඩිවන්නට පුළුවනි. ඇතැම් විට ඒ අසනීපයෙන් ම අපවත් වන්නටත් පුළුවනි, ඇරත් මා යමක් දෙන බව පොරොන්දු වී එය නොයවන්නේ නම් මා හට එය නුසුදුසුය". ඊට පස්සේ මස් කපන පිහිය ගත්ත සුප්පියා උපාසිකාව තමන්ගේ කලවයෙන් කොටසක් කපලා දාසියට දුන්නා. "එම්බා කෙල්ල, මේ මස හොඳින් දුරුමිරිස් දමා පිස අසවල් වෙහෙරේ ස්වාමින් වහන්සේට පිළිගන්වන්න, යමෙක් මා ගැන විමසත් නම් අසනීප බව පවසන්න". එහෙම කියලා සුප්පියා උපාසිකාව තමන්ගේ කලවය රෙද්දකින් ඔතාගෙන කාමරයට ගිහින් වැතිරිලා හිටියා. නිවසට ආව සුප්පිය උපාසකතුමා, කාමරයට වැදී සිටින සුප්පියා උපාසිකාව දැකලා ඒ ඇයි කියලා විමසනවා. තමන්ට අසනීප බව කියන සුප්පියාව සිදුවුණ සියළුම දේවල් සුප්පිය උපාසකතුමාට කියනවා. මේ බව ඇහුව සුප්පිය උපාසකතුමා "භවත්නී මෙය නම් ඒකාන්තයෙන් ම ආශ්චර්යවත් දෙයකි, මෙය නම් ඒකාන්තයෙන් ම ආශ්චර්යවත් දෙයකි, සුප්පියාව බුදු සසුන කෙරේ පරිපූර්ණ ශ්‍රද්ධා ඇත්තීයකි. තමන්ගේ මස පවා දන් දෙන මැයට නොදිය නොහැක්කක් නම් නැත " කියලා බොහෝම සතුටු හිතුණා. ඊටපස්සෙ සුප්පිය උපාසකතුමා බුදුරජාණන් වහන්සේ හමුවට ගිහින් වන්දනා කරලා පසුදින දානයට ආරාධනා කරනවා.

දානය පිරිසිදු ව පිළියෙළ කරලා ඒ බව බුදුරජාණන් වහන්සේ ට දැන්වූවා ම බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන සුප්පිය උපාසකතුමාගේ නිවසට වඩිනවා. වැඩම කළාට පස්සේ උන්වහන්සේ එදා දකින්නට හිටියෙ නැති සුප්පියාව ගැන විමසනවා. එතකොට සුප්පිය උපාසකතුමා "ස්වාමිනි, ඈ ගිලන් ව සිටින්නී ය. " කියලා පිළිතුරු දෙනවා. එසේ වී ඇය මෙහි පැමිණේවා කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. "ස්වාමිනි, ඇයට පැමිණීමට නොහැකිය" කියලා පවසනවා. "එසේ වී නම් ඇය ඔසවාගෙන එන්න" බුදුරජාණන් වහන්සේ වදාරනවා. එතකොට සුප්පිය උපාසකතුමා ගිහින් ඇය ව ඔසවාගෙන එනවා. සුප්පියාව බුදුරජාණන් වහන්සේ දකිනවාත් එක්කම ඇගේ තුවාලය මසින් වැහිලා ගිහින් සම්පූර්ණයෙන් ම සුවපත් වුණා. "භවත්නී මෙය නම් ඒකාන්තයෙන් ම ආශ්චර්යවත් දෙයකි, භාග්‍යවතුන් වහන්සේ දකිනවාත් එක්කම මේ සා මහත් වූ තුවාලය සැණින් මසින් පිරී ගොස් කැළැල් මැකී ගොස් සුවපත් වූයේය... " කියලා දෙදෙනා ම සතුටු වෙනවා. සතුටු වෙලා දන් පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ දානය පිළි අරගෙන ධර්ම කතාවෙන් සතුටු කරලා විහාරයට වැඩියා. ඊටපස්සෙ මේ කාරණය හින්දා ම භික්ෂු සංඝයා රැස් කරනවා. 

"පින්වත් මහණෙනි, සුප්පියා උපාසිකාවගෙන් මස් ව්‍යංජනයක් ඉල්ලුවේ කවර භික්ෂුව ද? " බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වෙතින් විමසනවා. "ස්වාමිනි ඒ මා විසිනුයි". මස් ඉල්ලූ භික්ෂුව ඉදිරිපත් වුණා.

"පින්වත් භික්ෂුව, ඒ මස ඔබට ලැබුණේද?"

"එසේ ය ස්වාමිනි, මා හට ඒ මස ලැබුණේය. "

"පින්වත් භික්ෂුව ඔබ ඒ මස වැළඳුවේද? "

"එසේ ය ස්වාමිනි, මවිසින් ඒ මස වැළඳූයෙමි. "

"පින්වත් භික්ෂුව, ඒ කවර මසක්දැයි ඔබ විසින් විමසන ලද්දේ ද?"

"නැත ස්වාමිනි, නොවිමසුවෙමි."
එවිට බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් එහි දොස් දක්වලා මේ විදියට දේශනා කළා. "හිස් පුරුෂය, ඔබ විසින් විමසනු නොලැබ කෙසේ නම් ඒ මස වැළඳුවේද? හිස් පුරුෂය ඔබ විසින් වළඳා තිබෙන්නෙ මනුෂ්‍ය මාංශයකි. හිස් පුරුෂය, මෙය වනාහී නොපැහැදුනවුන් පැහැදීම පිණිස හෝ පැහැදුනවුන් වඩා පැහැදීම පිණිස ද හේතු නොවේ....පින්වත් මහණෙනි, බලවත් ලෙස ශ්‍රද්ධාව පිහිටුවා ගත් බලවත් ප්‍රසාදය ඇති ජනයා තමන්ගේ මස පවා පුදන ලද්දේ වෙයි. පින්වත් මහණෙනි, මිනී මස් නොවැළඳිය යුතු ය. මිනී මස් වළඳන්නේ නම් එයින් ම ඒ භික්ෂුව 'ථුල්ලච්චය' ආපත්තිය සිදුවේ. " ('ථුල්ලච්චය' ආපත්තිය කියන්නේ විශාල වරදක් සිදුවුණාට පස්සෙ එය සංඝයා හමුවේ ආරෝචනය කොට නැවත නොකරන බවට පොරොන්දු වී සංවර වන ඇවතක්.) පින්වත් මහණෙනි, නොවිමසා මස් නොවැළඳිය යුතු ය. යමෙක් නොවිමසා මස් වළඳන්නේ නම් දුක්කට ආපත්තිය සිදුවේ. (දුක්කට ආපත්තිය කියන්නේ නොකළයුතු දෙයක් කිරීමේ වරදට හසුවීමයි. නැවත එය නොකරන බවට පොරොන්දු වී සංවර වීය යුතු ඇවතක්).

ඔන්න ඔය විදියට තමයි බුදුරජාණන් වහන්සේ මිනී මස් වැළඳීම ගැන භික්ෂූන් වහන්සේලා ට විනය නීති පැනෙව්වේ. මේ වගේ ම බලු, සර්ප, සිංහ, දිවි, වලස් වගේ තවත් මස් වර්ග දහයක් වෙනුවෙන් විනය නීති පනවලා තියෙනවා තහනම් කරලා. මේ විස්තර සඳහන් වෙන්නෙ මහාවග්ග පාළියේ භේසජ්ජක්ඛන්ධය කියන කොටසේ. උපුටා ගත්තේ පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේ රචිත 'නිර්මාංශ ප්‍රශ්නය' පොතෙන්....

33 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

කොසොල් රජතුමාගේ අපූරු උප්පරවැට්ටි.....


කොසොල් රජතුමා එහෙමත් නැත්තම් පසේනදී කෝසල රජතුමා බුද්ධ කාලයේ ඉතාම ප්‍රකට චරිතයක්. බුදුරජාණන් වහන්සේ ගේ සම වයසේ හිටිය කොසොල් රජතුමාට මගධාධිපති බිම්බිසාර රජතුමා ඥාතියෙකුත් වුණා. කොසොල් රජතුමා දවසක් වීදි සංචාරය කරන අවස්ථාවකදී දෙවඟනක් වගේ ඉතාමත් සුන්දර රූමත් කාන්තාවක් දැක්කා. ඇයගේ රූප සම්පත්තියට වශී වුණ රජතුමා, ඇය පිළිබඳ රාග සිතුවිලි ඇතිකර ගත්තා. මේ සුරූපී කාන්තාව ගැන තොරතුරු විමසූව රජතුමාට දැනගන්නට ලැබුණේ ඇය විවාහක බව. දෙව්ලියක්වන් ඇය, තම වසඟයට උපායක් සැලසුම් කළ රජතුමා, ඇයගේ ස්වාමියා රජමාලිගයට කැඳවලා ඔහුට යම් කාර්යයක් පවරලා, රජුගේ අණ ඉටුකිරීමට අපොහොසත් වුවහොත් ඔහුට මරණය අත්වන බවත් දන්වනවා. මේ තරුණයාට පැවරුව කාර්යය තමයි, යොදුනක් (සැතපුම් 12 ක්) පමණ දුර පෙදෙසක තියෙන කුමුදු, නෙළුම් වර්ග වලින් මල් වට්ටියකුත් නාගයන්ගේ රජදහනේ තියෙන පස් වර්ගයක් වුණ අරුණාවතී කියන පස් වර්ගයත් , පැය කිහිපයක් ඇතුළත රජමාලිගයට ගෙනෙවිත් බාරදීම.

මේ අහිංසක තරුණයා තම බිරිඳ සකස් කරලා දුන්න බත්මුලත් අරගෙන කඳුළු පිරි දෙනෙතින් පාරට බහින්නේ යළිත් වරක් කවදාවත් තම දයාබර බිරිඳ දකින්නට නොලැබෙන බව කල්පනා කරමින්. දිවිහිමියෙන් පතිභක්තිය අගය කළ බිරිඳ ස්වාමියාට ආශිර්වාද කරනවා යන ගමන සාර්ථක වෙන්න කියලා. උදෑසනින්ම ගමන ආරම්භ කරන තරුණයා හිරු රශ්මිය දැඩිවෙද්දි කැලයක් අයිනෙ නතර වෙලා දිවා ආහාරය අරගෙන ළඟ තිබුණ ඇළකට ගිහින් වතුර බීල ඉතිරි වුණ බත් මාළුන්ට දාලා ගමන් විඩාව සන්සිඳුවාගන්නා ගමන් ම තමාට අත්වන්නට යන්නා වූ ඉරණම ගැන කල්පනා කරන්න පටන්ගත්තා. තරුණයා දැනගෙන හිටියා කවදාවත් තමන් යන ගමන සාර්ථක කරගන්න ඉඩ ලැබෙන්නෙ නැහැ කියලා. ඒ අතරේ තරුණයා පත්වෙලා ඉන්න කණගාටුදායක තත්ත්වය දැක්ක නාග රාජයක් මහලු වේෂයක් මවාගෙන, තරුණයා අසලට ඇවිත් ඔහු සොයන මල් වට්ටිය සහ අරුන්දතී පස් දුන්නා.

ඉමහත් පී‍්‍රතියට පත් වුණ තරුණයා පැය කීපයක් ඇතුළත මල් වට්ටිය සහ අරුන්දතී පස් අරගෙන නගර සීමාවට යළි ආවත් රජමාළිගාවේ සිද්ධවුණේ වෙනත් දෙයක්. තමන් දුන්න කාර්යය ලේසියෙන් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නොවුණත් බැරිවෙලාවත් වේලාවට කලින් මේ තරුණයා අදාල දේවල් අරගෙන ආවොත් තමන්ගේ අරමුණ ඉටුකරගන්න නොහැකිවෙන බව හිතන රජතුමා නගරයේ දොරවල් කලින් ම වහලා දාන්නට අණ කරනවා. තරුණයා එද්දි නගරයේ දොරවල් වහලා. කිසිවක් කරකියාගත නොහැකි වුණ මේ අහිංසක තරුණයා අසල තිබ්බ ජේතවනාරාමයට ගියේ පසුවදාට එළිවුණ ගමන් ම රජ මාළිගාවට යන්න හිතාගෙන.

කොසොල් රජතුමා එදා රෑ සිරිත් පරිදි නිදාගන්න ගියත් මුළු රාත්‍රී කාලය පුරාම ඉතාමත් බියකරු ශබ්ද මරලතෝනි ඇහෙන නිසා රාත්‍රිය පුරාවටම නින්දක් ලැබුණේ නැහැ. රෑ පහන් වෙනකල් ම එක එක විදියෙ භයානක ශබ්ද ඇහුණ නිසා කොසොල් රජතුමා හොඳටම බයවුණා. ඉතා දිගු වුණ භයංකාර රාත්‍රියේ නිදිවරා සිටිය රජතුමා උදෑසනම ඒ බියජනක ශබ්ද ගැන අගමෙහෙසිය වුණ මල්ලිකාවන්ට කිව්වා. මේ ගැන ඇගේ අදහස වුණේ මෙම රුදුරු බිය උපදවන ශබ්ද රජතුමාට ඇසුනේ කෙසේද යන්න දැනගන්නට නම් තථාගත බුදුපියාණන්ගෙන් විමසන්න කියලයි.

මල්ලිකා දේවියගේ උපදෙස් අනුව, කොසොල් රජතුමා බුදුන් වහන්සේ හමුවන්නට ජේතවනාරාමයට ගිහින්, කලින්දා රාත්‍රී කාලයේ තමන්ට අහන්නට ලැබුණ භයානක දුක් අඳෝනා සහිත ශබ්ද ගැන විමසුවා. බුදුරජාණන් වහන්සේ මේ විදියට පිළිතුරු දෙනවා. "මහරජ! ඔබ බියට පත්වූයේ ලෝකුඹු නිරයේ අනන්ත අප්‍රමාණ දුක්විඳින සිවුදෙනෙක්ගෙන් නිකුත්වන බියකරු අඳෝනා නිසාය. එදා සැවැත්නුවර විසූ ධනවත් සිටුවරුන් සිවුදෙනෙකුගේ් පුතුන් සිවු දෙනෙක්, කාමය වරදවා හැසිරීම නමැති තෙවන පන්සිල් පදය දරුණු ලෙස කඩකිරීම නිසා ලෝකුඹු නිරයට ගොස් විඳින අනන්ත දුක් වේදනා හා අඳෝනායි ඔබට ඇසී ඇත්තේ. අන් අඹුවන්ගේ පහස සොයා යාමේ පාප කර්මයේ විපාක, අද මේ සිටුකුමාරවරු සිවු දෙනා ලෝකුඹු නිරයේ සිට විඳීති. අන් අඹුවන් සේවනය කිරීමට යන්නන්ට මෙවන් අසීමිත දුක් වේදනාවන්ට මුහුණදීමට සිදුවේ. මෙවන් දුෂ්ට පාපතර ක්‍රියාවන්හි නිරතවන්නට ලැබෙන දරුණු දඬුවම් විඳින විට නැගෙන අඳෝනාවලට තමයි ඔබ සවන් දුන්නේ" කොසොල් රජතුමාට කරුණු පැහැදිලි වුණා. තමා සිදුකරන්නට උත්සාහ කළේ කෙතරම් පාපතර ක්‍රියාවක්දැයි කියලා රජතුමාට ඒත්තු ගියා. ‘තථාගත බුදුපියාණන් වහන්ස! නිදි නොලබා සිටිනවිට රාත්‍රී කාලය කෙතරම් දිග දැයි මට වැටහුණා’ යැයි පසේනදී රජු පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළා. ඒත් එක්කම බුදුන් වහන්සේ සහ රජතුමා ටිකක් ඈතින් රැඳී සිටිය තරුණ ස්වාමි පුරුෂයා බුදුන් වහන්සේ අමතමින් ‘අනේ බුදුපියාණනි කුමුදුමල් සහ අරුණාවතී පස් සොයා ගන්නට මා යොදුනක් ඇවිද්දා. මා ඒ ගමනින් හෙම්බත් වුණා’ යැයි කියලා ප්‍රකාශ කරනවා. ඊටපස්සෙ තමයි උන්වහන්සේ "නිදි මරන්නාට රැය දිගය. ගමන් ගොස් වෙහෙසුණහට යොදුන දිගය. සද්ධර්මය නොදන්නා වූ මෝඩයන්හට සසර දිගය" යන අරුත දැක්වෙන ගාථාව දේශනා කරන්නේ....

ප.ලි : මහළු වේශයක් ගත්ත නාගරාජයා ගැන ප්‍රශ්න ඇතිවුණා නම්.... මෙතනදි නාගයෙක් කියලා අදහස් කරන්නෙත් සතර අපායෙන් එකක් වෙන තිරිසන් අපායෙ එක සත්ව කොට්ඨාසයක් වෙන නාගයන් ගැනයි (නිතර අපි දකින නයි ත් මේ කොටසේ ඉන්නවද කියන්න නම් මම දන්නේ නැහැ!). මේ අයට ලැබිලා තියෙන ලෞකික ඍද්ධියක් තමයි වෙස් මාරුකරගැනීමේ හැකියාව. නමුත් මේ අය තිරිසන් සත්ව කොටසක් නිසා කවදාවත් ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාවක් නැහැ. ඒ ගැන කතාවකුත් තියෙනවා, ඒකාලේ නාගයෙක් මිනිස් වේශයෙන් ඇවිත් බුද්ධ ශාසනයේ ඇවිත් පැවිදි වෙනවා. නමුත් එක දවසක යම් සිදුවීමක් නිසා නාග වේශය අනිත් ස්වාමින්වහන්සේලා ට දකින්න ලැබිලා මේ ගැන බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ කෙනාව කැඳවලා අවවාද කරලා සසුනෙන් ඉවත් කරනවා නාගයෙක් විදියට ධර්මය අවබෝධ කරගන්න කවදාවත් බැරිනිසා. ඒ වගේම සිදුහත් බෝසතාණන් සුජාතාවන් ගේ කිරිපිඬු දානය වළඳලා නේරංජරා ගඟේ පා කළ පාත්‍රය උඩුගං බලා ගිහින් නැවතුණෙත් නාග ලෝකයේ කියලයි කියන්නේ. ඒ පාත්‍රය දැක්ක මහා ආයුෂ ඇති මහාකාල නා රජු අදත් බුදු කෙනෙකු බුදු වන්නට යනවා කිව්වලු. මේ වගේ කතා ගොඩක් තියෙනවා නාගයෝ ගැන කියනවනම් පෝස්ටුවකට දාන්න තරම්...තව මේ ගැන දැනගන්න ඕන නම් මෙතනින් කියවන්න. පින්තූරය මෙතනින්.

51 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ධනුග්ගාහකතිස්ස හාමුදුරුවන් නිසා සටන ජයගත් කොසොල් රජතුමා...


බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලයේදී ම කොසොල් ජනපදයට අධිපති වුණ කොසොල් රජතුමාත්, මගධාධිපති බිම්බිසාර රජතුමාගේ පුත්‍රයා වුණ අජාසත්ත රජතුමා ත් අතර යුද්ධයක් ඇතිවුණා. දිගින් දිගටම මේ සටන් වලින් අජාසත් රජතුමාට පරාජයට පත් වෙන්නට වුණ නෑකමින් මාමණ්ඩිය වුණ කොසොල් රජතුමාට මේක ලොකු ලැජ්ජාවක් වුණා. මේ යුද්ධය ඇතිවෙන්න හේතුව තමයි, කාලෙකට කලින් මිත්‍රත්වය හේතුවෙන් කොසොල් රජතුමා තමන්ගේ සොයුරියක් බිම්බිසාර රජතුමාට දායාද විදියට ගම්වරයක් එක්ක විවාහ කරලා දෙනවා. නමුත් කෲර අජාසත් රජතුමා, තමන්ගේ පියා වුන බිම්බිසාර රජතුමා ව මරා දමනවා. මේ නිසා ඊට විරුද්ධ වීමක් විදියට සොයුරියට දායාද විදියට ලබාදුන්න ගම්වරය කොසොල් රජතුමා අපහු පවරා ගන්නවා. ඒ ගම්වරය වෙනුවෙන් තමයි මේ යුද්ධය ඇතිවුණේ.

කලින් කිව්වනේ කොසොල් රජතුමා හැමදාමත් යුද්ධයෙන් පරදිනවා කියලා. ඒ නිසා දවසක් කොසොල් රජතුමා තමන්ගේ චරපුරුෂයෝ කැඳවලා, යුද්ධය ජයගැනීම පිළිබඳ රහස් ඥාණවන්ත භික්ෂූන් දන්නා බවත් නමුත් ඇහුවොත් කවදාවත් නොකියන නිසා රහසිගත ව ඒවාට සවන් දී තමන්ට වාර්තා කරන විදියට උපදෙස් දෙනවා. දවසක් උපතිස්ස සහ ධනුග්ගාහකතිස්ස කියන ස්වාමින් වහන්සේලා අතර යුද්ධය ගැන ඇතිවෙන සාකච්ඡාවක් චරපුරුෂයෙක් අහගෙන ඉන්නවා. " ඔය විදියට පහරදීලා අජාසත් රජු ව අල්ලා ගන්න බැහැ. පදුම භ්‍රෑහ (පද්මාකාරයෙන් යුද සෙනග පෙළ ගස්වා පහර දීම), චක්‍ර භ්‍රෑහ (චක්‍රාකාරයෙන් යුද සෙනඟ පෙළ ගස්වා පහර දීම), සටක භ්‍රෑහ (දෙපැත්තෙන් පහර දීම) කියන යුද්ධ උපක්‍රම තුනෙන් සටක භ්‍රෑහ හෙවත් අජාසත් සේනාව දෙපසින් වටකරලා ඉදිරියට එන්න ඉඩ හැරලා මුලින් පසු බැහැලා මැද්දට ආවට පස්සේ අල්ලාගත යුතුයි" කියලා ධනුග්ගාහකතිස්ස ස්වාමින් වහන්සේ පවසනවා. මේ ගැන චරපුරුෂයා රජුට දන්වනවා. ඊට පස්සේ කොසොල් රජතුමා ඒ විදියට සේනා සංවිධානය කරලා කොසොල් රජතුමා ජීවග්‍රහයෙන් ම අල්ලා ගන්නවා. තමන්ගේ බෑණා වූ නිසා ම අවවාද කරන ගමන් ම අජාසත් රජතුමා ට ජීවිත දානය දෙනවා වගේ ම තමන්ගේ දියණියකුත් සරණ පාවලා දෙනවා කලින් ගම්වරයත් එක්ක ම. ධනුග්ගාහකතිස්ස හාමුදුරුවන්ගේ යුධ උපදේශය ගැන උන්වහන්සේ ට චෝදනාවක් එල්ල වුණා දම්සභා මණ්ඩපයේදී. ඒ බව දැනගත්ත බුදුරජාණන් වහන්සේ, ධනුග්ගාහකතිස්ස හාමුදුරුවෝ අද විතරක් නෙවෙයි මීට පෙරත් සටන් මෙහෙයවලා ජයගත්ත බව ප්‍රකාශ කරලා මේ විදියට අතීත කථාව දේශනා කරනවා.

ඉස්සර කාලයේ ජීවත් වුණ ලී වඩුවෙක් දවසක් ලී කපන්න කැලෑවට ගියා ම අතරමං වුණ ඌරු පැටියෙක් දැකලා ගෙනැවිත් හදාවඩා ගන්නවා. ඌරු පැටියා වඩු මඩුවෙ ම ලොකු මහත් වෙලා වඩුවාට ලී කොට පෙරලන්න, නූල් ගහන්න වගේ වැඩ වලට උදව් කරනවා. මේ හින්ද ම ඌරු පැටියට 'වඩ්ඩකී සූකර' කියල නමකුත් පටබැඳෙනවා. ඌරු පැටියාගේ උපකාර නිසා ම වඩුවා දවසින් දවස දියුණු වෙනවා වගේ ම ඌරු පැටියත් ගොඩක් පුෂ්ටිමත් ව වැඩෙනවා. අද විතරක් නෙවෙයිනේ ඒ කාලෙත් ඉන්න ඇතිනෙ මස් වැද්දෝ හැමතැනම. ඒ නිසා ඌරා ගේ ආරක්ෂාව වෙනුවෙන් වඩුවා තීරණය කරනවා ඌ ව කැලයට නිදහස් කරන්න. මොකද කවුරුහරි මේ පුෂ්ටිමත් ඌරා ව මරාගෙන කෑවොත් තමන්ට ලොකු වේදනාවක් දැනේවි කියලා හිතුණ නිසා. ඉතින් කැලයේ තනිවුණ වඩ්ඩකී සූකර ඌරා තමන්ගේ වර්ගයා සොයාගෙන යනවා. මේ යන අතරමඟ දී ඌරු රංචුවක් හමුවෙනවා වඩ්ඩකී සූකරට.

හොඳින් පුෂ්ටිමත් ව වැඩුණු ඌරා ව දකින වැහැරී ගිය සිරුරු ඇති ඌරු රංචුව, ඌරා වටකරගන්නවා. "කැලේ මේතරම් කන්න බොන්න තියෙද්දි මේ තරම් වැහැරිලා ඉන්නේ ඇයි" කියලා වඩ්ඩකී සූකර විමසනවා. "මේ කැලේ කොයිතරම් කන්න බොන්න තිබුණත් ඒවා කෑමට තරම් හිතක් අපට නෑ. කෑවත් ඒවා ඇඟට අල්ලන්නෙ නෑ. අපේ වරිගේ එවුන් මරාගෙන කන කොටියෙක් අර ඈත පේන ගල උඩට එනවා. හැමදාමත් එකෙක් ව මරාගෙන කනවා. ඌ කොයිවෙලාවෙ එයිද කියලා බයෙන් තමයි අපි ඉන්නෙ" කියලා ඌරු රංචුව උත්තර දෙනවා. "උඹලා බය නොවී මා කියන විදියට වැඩ කරනවනම් ඔය කොටිය ව මරා දමන්න පුළුවනි" කියලා වඩ්ඩකී සූකර කිව්ව ම ඌරු රංචුව කැමති වෙනවා ඒ විදියට වැඩ කරන්න. ඌරු පැටවුන් ව මැදින් තියලා ඒ වටේ ට ඊරියන් ව තියලා ඊටත් පිටතින් පුෂ්ටිමත් ඌරනුත් ඊටත් පිටින් දළ සහිත ශක්තිමත් ඌරන් ඉන්න විදියට රංචු කැලේ තැනින් තැන රඳවනවා. කොටියා ඇවිත් පනින ගල පාමුලින් වතුර වලක් හදන වඩ්ඩකී සූකර ඒ තුළින් පැනලා යන්න පුළුවන් උමඟකුත් හදනවා. ඒ විදියට හදලා යම් විදියකින් කොටියා ආවොත්, කොටියා කරන දේ ම ඌරන්ටත් කරන්න උපදෙස් දෙනවා. ටික වෙලාකින් කොටියා ඇවිත් කැලේ දෙවනත් වෙන්න ගර්ජනා කරනවා, ඌරු රංචුවත් ඒ විදියට ම කරනවා. කොටියා ගල උඩ මූත්‍රා කරනවා. ඌරොත් ඒ විදියට ම කරනවා.

වෙනදා නොදැක්ක වෙනසක් දැක්ක කොටියා ආපහු හැරිලා පලායනවා තම්න්ගේ ස්වාමියා වුණ තාපසයා ළඟට. ඌරු මස් නැතිව හිස් අතින් එන කොටියා දැක්ක තාපසයා ඊට කරුණු විමසනවා. කරුණු පැහැදිලි කරන කොටියට බැණ වදින තාපසයා "ඔය වගේ ශක්තිමත් ශරීරයක් තියෙන කොටියෙක් ඌරන් ට බයවෙන්න ඇයි? වහා ම ගිහින් ඌරෙක් මරාගෙන වරෙන්" කියලා කොටියට අණ කරනවා. වහා ම ආපසු හැරුණ කොටියා ගල උඩට ගිහින් වතුර වළ ළඟ හිටිය වඩ්ඩකී සූකර මතට පනිනවා. වඩ්ඩකී සූකර සැණින් වතුර වළේ තිබුණ උමඟට ගිහින් හැංගෙනවා. වතුර වළට වැටිලා පාවෙමින් හිටිය කොටියා ළඟට ආව වඩ්ඩකී සූකර, ශක්තිමත් දළෙන් ඇනලා කොටියා ව මරලා දැම්මා. කොටියා මැරුණු බව දැක්ක ඌරු රංචුව කොටියා ව කාලා දැම්මා. අන්තිමට වඩ්ඩකී සූකර, ඌරු රංචුවෙන් අහනවා "දැන් ඉතින් උඹලට නිදහසේ ඉන්න පුළුවන් නේද කියලා?" ඒ වුනත් කණගාටුවෙන් වගේ ඌරු රැල මේ විදියට උත්තර දෙනවා. "මේ කොටියා නෙවෙයි, තව මේ විදිය කොටියන් දහයක් වුණත් පුහුණු කර එවිය හැකි තාපසයෙක් ඉන්නවා, ඒ තාපසයා ඉන්න තුරු තමන් ට නිදැල්ලේ සිටිය නොහැකි යි" කියලා. කොටියා මරලා මහත් සතුටින් හිටිය ඌරු රැල වඩ්ඩකී සූකර පෙරටු කරගෙන තාපසයා ව හොයාගෙන යනවා. ඌරන් රංචුව කඩා වදිනවා දැක්ක තාපසයා දුවගෙන ගිහින් ගහක් උඩට නැග්ගා. ගහ වටේ තියෙන මුල් ටික හාරලා කඩන්නට වඩ්ඩකී සූකර උපදෙස් දෙනවා. හැම මුලක් ම කඩලා දැම්මත් එක ම එක ලොකු මුලක් ඉතුරු වුණා. වහා ම වඩ්ඩකී සූකර පැනලා තමන්ගේ ශක්තිමත් දළෙන් ඇනලා මුල කඩලා දාලා ගහ බිමට පෙරලුවා. ඉතින් තාපසයාගේ කටු විතරයි අන්තිමට ඉතුරු වුණේ. ඔන්න ඔය විදියට තමයි ධනුග්ගාහකතිස්ස හාමුදුරුවො, වඩ්ඩකී සූකර විදියට ඉපදිලා සටන් ජය ගත්තේ කියලා බුදුරජාණන් වහන්සේ, 'වඩ්ඩකී සූකර ජාතකය' දේශනා කළා.

ප.ලි: බ්ලොග් එක ආයෙ නොලියා ඉන්න තීරණය කළත් කාලයත් එක්ක ම ආයෙත් මම බ්ලොග් එක ලියන්න පටන් ගත්තා.ටිකක් විතර කාර්ය බහුල වීම නිසා ගොඩක් අයගේ බ්ලොග් ඇවිත් කියවලා ගියත් ප්‍රතිචාර දක්වන්න නම් නොහැකි වුණා කියලත් කියන්න ම ඕන. ලංකාදීප පත්තරේ, බෙංගමුවේ නාලක ස්වාමින් වහන්සේ ලිව්ව සටහනකින් තමයි මේ කථාව උපුටලා ගත්තේ. එහෙනම් මම ආයෙත් දිගටම එනවා ඔන්න.

43 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

දිව්‍ය ලෝකේ යන්න කැමති අයට....


අපි ගොඩක් වෙලාවට යමක් කරන්නෙ හොඳ හෝ නරක යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන්. අපි ඉගෙනගත්තත්, රැකියාවක් කළත් මේ හැමදේක ම කිසියම් සැඟවුණු බලාපොරොත්තුවක්/ ගොඩක් තියෙනවා. ඒ වගේ ම අපි කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මොනාහරි කරන්නෙ ඉතා ම කලාතුරකින්. ඒක සාමාන්‍ය මනුස්ස ස්වභාවයනේ. අපි කැමතියි අපිට මහන්සියක් නැතුව ම යමක් ලැබෙනවනම්. කොහෙන්හරි සල්ලි ඇවිත් ඉබේම අපේ බැංකු ගිණුමට එකතුවෙනවානම්.... හැබැයි අපි නොදන්නවා/ නොහිතනවා වුණාට හැමෝටම තියෙනවා ඒ වගේ ගිණුමක්. අපිත් නොදැනීම ඒ එකවුන්ට් එකට එකතුවෙන දේවල් තියෙනවා අපි එදිනෙදා කරන කියන පුංචි පුංචි දේවල් නිසා. ඒ තමයි කර්මය කියන ගිණුම...

මුගලන් මහරහතන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන කාලයේ දවසක් දිව්‍ය ලෝකයන්හි ධර්ම චාරිකාවේ නිරත වුණා. මේ ගමනේ දී දෙවිවරුන් සමඟ සුහද පිළිසඳරෙහිත් යෙදුණා ඇතැම් අවස්ථාවල. මුගලන් මහ රහතන් වහන්සේ
"දෙව්දුවනි, මේ තරම් දිව්‍ය සම්පත්තියක් ලැබීමට කළ පින කුමක් ද?" දෙව් දුව, කළ පින ඉතා සුළු එකක් වුණ නිසා ඒ ගැන කියන්නට ලජ්ජා වුණා. "දෙව්දුවනි ලජ්ජාවට පත්වන්නට කාරණා නැත. ඒ පින්කම කුමක්ද?" මුගලන් තෙරණුවෝ ආයෙත් විමසනවා. එවිට දෙව්දුව මේ විදියට පිළිතුරු දෙනවා. 

“මම මිනිස් ලොව සිටිත්දි දුප්පත්ව යැපුණෙමි. පවට බියෙන් සිටියෙමි. කිසි දිනක බොරු නොකීවෙමි. සැබෑවක්ම කීවෙමි. දෙව් ලොව උපත ලැබුවේ ඒ නිසා ය.”

මුගලන් මහරහතන් වහන්සේ තවත් දිව්‍ය විමානයක් ළඟ නතර වෙලා තවත් දිව්‍ය අප්සරාවක් සමඟ පිළිසඳරෙහි යෙදුණා. ඇයගෙන් ද දිව්‍ය සම්පත් ලැබීමට කළ පින කවරේදැයි විමසුවා. එවිට ඒ දෙව්දුව "තෙරුන් වහන්ස. මම මිනිස් ලොව ඉතා අසරණව, මෙහෙකාර කෙල්ලකව සිටියෙමි. කොපමණ දුක් පීඩා ලැබූවත් කෝපය මැඩ ඉවසීමෙන් විසු බැවින් මේ දිව්‍ය සම්පත් ලැබීමි" යි කිව්වා. 

මේ විදියට මුගලන් මහ රහතන් වහන්සේ දිව්‍යංගනාවන් කිහිප දෙනකුගෙන් ම තමා ලද දිව්‍ය සැපතට හේතු විමසනවා.

“මම උක් හේනක් බලා සිටි කල්හි උක් දඬු පිදීමෙන් දිව්‍ය සම්පත් ලදිමි”
“මම තියඹරා ගෙඩියක් පිදීමේ පිනෙන් දිව්‍ය ලෝකයට පැමිණීයෙමි.” ආදි ලෙස ඔවුහු පිළිතුරු දෙනවා උන්වහන්සේට.

ආපසු දෙව්රම් වෙහෙරට වැඩි මුගලන් මහරහතන් වහන්සේ මේ විස්තර බුදුරජාණන් වහන්සේට සැල කළා. එවිට බුදුරජාණන් වහන්සේ, පැහැදුණු සිතින් යුතුව සත්‍ය වචන කීමෙන්, නොකිපී ඉවසීමෙන්, සුළු හෝ යමක් දීමෙන් පවා දිව්‍ය සම්පත් ලද හැකි බව දේශනා කළා. ඒ වගේ ම උන්වහන්සේ උන්වහන්සේ මහානාම ශාක්‍යයාට, දෙව් සැප ලබන්නට කැමති නම් දේවානුස්සතිය වඩන්නටත් අවවාද කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ 'දෙවියෙක්‌ වෙන්න ඔබ කැමති වෙන්න. දෙවියෙක්‌ වෙන්න අවශ්‍ය ධර්මතාවයන් දැන ගන්න. නිරතුරුවම චාතුර්මහා රාජිකය, තුසිතය, යාමය, නිම්මාණරතිය, තාවතිංසය, පරනිම්මිතය වැනි අප්‍රමාණ සැප ඇති දිව්‍යතල කෙරෙහි කැමත්ත ඇති කරගන්න. ඒවාට යන්න කැමති වෙන්න. ඒවායේ වැඩසිටින දෙවියන් දිව්‍යංගනාවන් විඳින අප්‍රමාණ සැප මනසින් දකින්න. එම සැපයට ඔබ ලොල්වෙන්න. මේ දිව්‍යතල කෙරෙහි උපාදානය සකස්‌කොට ගන්න'... යනුවෙන්.

මේ ධර්මය ඇසෙන කොට කාටහරි හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දිව්‍යලෝක වල ඉපදීම වර්ණනා කරලා තිබෙනවා කියලා. මෙතන දිව්‍යලෝක වර්ණනා කිරීමක්‌ නොවෙයි වෙන්නේ. බොහෝම උපක්‍රමශීලී ලෙස මනුෂ්‍යයා ව සතර අපායෙන් එතෙර කරවීමේ ධර්මයකුයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මුලින්ම කෙනෙක් දිව්‍යලෝක, දිව්‍යසැප කෙරෙහි ජන්දරාගය,කැමැත්ත, තෘෂ්ණාව ඇති කරවනවා. එහෙම දිව්‍යලෝක කෙරෙහි කැමැත්ත ඇති වුණාට පස්‌සේ කැමැත්ත උපාදානයක් හෙවත් හිතේ අල්ලාගැනීමක්/ඇලීමක් කරගෙන වැඩි වැඩියෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව වැඩි දියුණු කරගන්නවා. වැඩි වැඩියෙන් සිල්පද ආරක්‍ෂා කරගන්නවා. වැඩි වැඩියෙන් දන්දෙනවා. ඒවායේ ආනිශංසයන් දකිනවා. මේ ධර්මතාවයන් වැඩි වැඩියෙන් වඩන්නේ ඉහත සශ්‍රීක දිව්‍යලෝකයක සැපවිඳින්න. නමුත් කෙනෙක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, දානය ජීවිතයේ වැඩි වශයෙන් වඩවා ගන්න කොට නොදැනුවත්වම සෝවාන් ඵලයට පත්වෙන අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ සතර අපායෙන් මිදුණ කෙනෙක්‌ බවට පත්වෙලා මාර්ගඵලලාභී දෙවිකෙනෙක්‌ වශයෙනුයි එම දිව්‍යතලවල උපත ලබන්නේ. එහෙම වුණේ නැත්තම් ශ්‍රද්ධානුසාරි වෙලා ධම්මානුසාරී වෙලා සෝවාන් මඟට ඇතුළුවුණ කෙනෙක් විදියටයි මියයන්නේ. එයින් නිවන කරා යන මඟ වසාලන්න ආයෙත් කාටවත් ම බැහැ. බුදුරජාණන් වහන්සේ දේවානුස්‌සතිය වඩන්න කියලා මහානාම ශාක්‍යයාට කිව්වේ මේ හේතුව නිසයි. උදාහරණයකුත් මතක් කරන්න කැමතියි මේ දේ ප්‍රායෝගික ව වුණ. මතකයිද නන්ද කුමාරයා ව පැවිදි කළ හැටි දිව්‍යාංගනාවන් ව පෙන්නලා...

මේ විදියට සැප විඳින දෙවියන් ගැන, දුක් විඳින ප්‍රේතයන් ගැන විස්තර කියවන්න තියෙන හොඳම තැන තමයි සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ ප්‍රේත වස්තු විමාන වස්තු කියන කොටස. මෙතනින් සහ මෙතනිනුත් ඒ වගේ කථා දෙකක් කියවන්න පුළුවනි.

අද උඳුවප් පුර පෝය දවස. සංඝමිත්තා මහ රහත් මෙහෙණිය ශ‍්‍රී මහා බෝධි දකුණු ශාඛාව රැගෙන ලංකාවට වැඩම කරවීම, ලක්දිව මෙහෙණි සසුන ආරම්භවීම වගේ වැදගත් සිදුවීම් වෙලා තියෙනවා. ඒ වගේ ම ශ්‍රී පාද සමය ඇරඹෙන්නෙත් උඳුවප් පුර පෝය දවසිනුයි.

ප.ලි: දිලී ගේ ඉල්ලීමක් වෙනුවෙන් අද සටහන ලියද්දි දිවයින පත්තරේ රහතුන් වැඩි මඟ ඔස්සේ අතිරේකයත්, සිළුමිණ පත්තරේ සිත්මල් යාය අතිරේකයත් උදව් වුණා. අද දෙසැම්බර් 27 වෙනිදා බ්ලොග් එකට තරමක් විශේෂ දවසක්. ඇයි දන්නවද? අදට මේ බ්ලොග් එක පටන් අරගෙන අවුරුදු දෙකක්... අවුරුදු දෙකක් තිස්සේ ගොඩක් අය මාත් එක්ක රැඳිලා හිටියා. ප්‍රතිචාර දැක්වුවා, වැරදි අඩුපාඩු පෙන්නලා දුන්නා, අගය කළා. ඒ හැමෝටම වෙනසක් නැතුව ම අනේක වාරයක් ස්තූතියි. ඒ වගේම නොදැනුවත්වම හරි හිත් රිදීමක් ඇතිවුණා නම් සමාව ඉල්ලනවා.

අවුරුදු දෙකක් තිස්සේ ටිකක් විතර එකම වේගෙන් ඇවිත් ටිකක් මහන්සිත් වගේ දැනෙනවා. පෝස්ට් එකසිය හතළිස් ගණනක් විතර. මුල් ම කාලේ තාක්ෂණය සම්බන්ධ ලිපි වලින් පටන් ගත්තත් අන්තිම කාලෙදි ලියැවුණේ ම දහමට සම්බන්ධ සටහන්. කාලයක් ගතවෙද්දි හැමදෙයක් ම වෙනස්වෙලා යන එක කාටත් පොදු දෙයක්නේ. ඉතින් සමහරවිට මේ මගේ 'හංස ගීතය' එහෙමත් නැත්තම් 'Swansong of the blog' වෙන්නත් ඉඩ තියෙනවා. කෙටියෙන් ම කිව්වොත් ආයෙත් දැන් ම මේ බ්ලොග් එක ලියන්න මගේ අදහසක් නෑ. ඒ නිසා ගිහින් එන්නම්. ස්තූතියි හැමෝටම ආයෙමත්!!!! ප්‍රීතිමත් නව වසරක් වේවා!

23 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

සිහිනෙන් පෙනෙනා නෑදෑයෝ...


කෙනෙක් මැරුණ ම එයාට මොනවද වෙන්නෙ කියලා කලින් සටහනේදි කිව්වනේ. දැන් කියන්න හදන්නේ ඒ කෙනා වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා කියන්නයි. සාමාන්‍යයෙන් මියගිය ඥාතීන් ගැන කියද්දි, ඒ ගැන සමාජයේ මිනිස්සු අතර විවිධ මත තියෙනවා.ඒ අතරින් මිථ්‍යා අදහසුත් නැතුවා ම නෙවෙයි. මේ ඒවයින් කිහිපයක්. ඥාතියෙක් මියගියොත් ඒ මියගිය දවසේ ඉඳන් ඔහු හෝ ඇය දවස් 07 ක් යනකල් පින් බලාපොරොත්තුවෙන් නිවසේ රැඳී ඉන්නවා කියලා සමහරු කියනවා. කෙනෙක් මිය ගියාම ඒකෙනාට පින් අනුමෝදන් කිරීම නිවසේදීම කළ යුතු යි එහෙමත් නැත්නම් නිවසේ දී නොකළ යුතුය කියලත් හිතන අය ඉන්නවා. ඒ අතරෙදි තවත් සමහරු මෙහෙම හිතනවා.... ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න පටන්ගත්තොත් ඒ අය ඒ පින් දෙන අයට කරදර කරන්න පටන් ගන්නවා, ඒක හරියට කොහෙවත් තියෙන කරදර ගොඩක් ඇඟට දාගන්නවා වගේ වැඩක් කියලත්. මේ ගැන විස්තර ඇතුව කියන්න කලින්..... පොඩි කථාවක් කියන්න හිතුවා.

සිදුහත් කුමාරයා අභිනිෂ්ක්‍රමණය කරලා තවුස්දම් පුරන්න යන අතරවාරයේ රජගහ නුවරට යනවා පිඬු පිණිස. මේ තවුසාගේ ශාන්ත ඉරියව් කෙරේ පැහැදුන මගධාධිපති බිම්බිසාර රජතුමා ආරාධනා කරනවා රාජ්‍යයෙන් කොටසක් බාරගන්න. නමුත් තමන්ගේ උතුම් වුණ එක ම අරමුණ සිදුහත් තවුසා පැහැදිලි කළාට පස්සේ බිම්බිසාර රජතුමා ආරාධනා කරනවා බුද්ධත්වයෙන් පස්සේ රජගහ නුවරට වඩින්න කියලා. ඒ අනුව බුද්ධත්වය ලබලා මාස කීපයකින් තම ශ්‍රාවක පිරිසත් පිරිවරාගෙන රජගහ නුවර බලා වැඩම කළා. වැඩම කරලා නගරයට ගව් තුනක් එපිටින් තිබුණු වනයේ විශාල නුග රුකක් මුල වැඩ හිටියා. ශාක්‍ය පුත්‍රයාණන් වහන්සේ තම රාජධානියට වැඩම කළ බව ආරංචි වුණ බිම්බිසාර රජතුමා, තමන් හමු වන්නට ඇවිත් හිටපු මහාලී කියන ලිච්ඡවි රජතුමාත්, තව විශාල පිරිසකුත් එක්ක බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ගියා. ගිහින් බණ අහලා, පැහැදිලා, ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වුණ බිම්බිසාර රජතුමා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට පහුවදා රජ මාළිගයේ දහවල් දානයට ආරාධනා කළා. 

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහ සඟරුවනට, දවල් දානය පිරිනමලා තෘප්තිමත් සිතින් රෑ නින්දට ගිය රජතුමා රෑ මැදියමේ භයානක හීනයක් දැකලා අවදි වුණා. නිරුවත් විරූපී අමනුස්සයන්(ප්‍රේතයන්) පිරිසක් තමන් වට කරගෙන කෑගසා විලාප කියමින් අඳෝනා නඟන හැටි රජතුමා දැක්කා. පහුවදා උදේ ම බුදුරජාණන් වහන්සේ දකින්නට ගිය රජතුමා මේ සිහිනය දැන්නුවා. බිම්බිසාර රජතුමා ඒ දැක්කේ ඉතා ඈත ආත්මභාවයක නෑදෑයන් පිරිසක් බවත්(කාශ්‍යප බුදුන් සමයේ ), අමනුෂ්‍ය ආත්මභාවයක ඉපදිලා දුක් විඳින ඒ පිරිස රජතුමාගෙන් පින් බලාපොරොත්තු වන බවත් බුදුරජාණන් වහන්සේ රජතුමාට පැහැදිලි කළා. බිම්බිසාර රජතුමා පසුවදාත් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා රජමැඳුරට වඩමවාගෙන, ඉතා ගෞරවයෙන් ආසනවල වඩා හිඳුවලා ප්‍රණීත ලෙස දානය පිරිනමලා, දුකට පත් වෙලා ඉන්න තම නෑදෑයන් සිහි කරලා පින් දුන්නා.

කල්ප ගණනාවක් තිස්සේ තමන්ගේ ඥාතීන් පින් අනුමෝදන් කරන තුරු බලා සිටි ප්‍රේතයන්, රජතුමා දන් පැන් පිරිනමලා පින් අනුමෝදන් කරන විට තමන්ගේ සා පිපාසා සන්සිඳුවාගත්තා. වස්ත්‍ර පූජා කරලා පින් අනුමෝදන් කරද්දි ඔවුන්ට දිව්‍යමය වස්ත්‍ර ලැබුණා. එදා රාති‍්‍රයේ දිව්‍යමය ආහාරපානයෙන් තෘප්තිමත් වෙලා, දිලිසෙන ඇඳුම් පැලඳුම් දරාගෙන ඔවුන් රජතුමා ඉදිරියේ සිහිනෙන් නැවතත් පෙනී සිටියා. බුදුරජාණන් වහන්සේ එදා දවල් දානය වළඳා අවසානයේ රජතුමාටත්, රැස් ව සිටි මහ සෙනඟටත් ධර්මය දේශනා කළා. ඒ දේශනාව තමයි ‘තිරොකුඩ්ඪ සූත්‍රය’ හැටියට ඛුද්දක නිකායේ දැක්වෙන්නේ.

අරහත් ඵලයට පත් නොවුණ ඕනෑ ම කෙනෙක් උපත් හතරක් කරා යන්න පුළුවන් නේ. ඒ තමයි මව් කුසක, බිත්තරයක, තෙත් පරිසරයක් හෝ ඕපපාතික විදියට. මෙතනදි ඕපපාතික උපත් ලබන අය විදියට ගොඩක් වෙලාවට හඳුන්වන්නේ දෙවියන්, බ්‍රහ්මයන් සහ ප්‍රේතයන් ව. නමුත් ජීවත්වෙලා ඉන්න තමන්ගේ ඥාතීන්ගෙන් වැඩිවශයෙන් පින් බලාපොරොත්තු වෙන්නෙ දුක් සහිත ලෝක වල ඉපදුණ ප්‍රේතයන්. වරක් තථාගතයන් වහන්සේ මෙම තිරෝකුඩ්ඪ දේශනයේ දී මේ විදියට දේශනා කරනවා. "ඤාති ප්‍රේතයෝ වනාහි තමන් පෙර විසූ ගෙය කරා අවුත්, බිත්තියෙන් පිටත ද, ගෘහ සන්ධි හා බිත්ති සන්ධි සතරමං සන්ධි, තුන්මං සන්ධි යන ස්ථානයන්හි සිටිත්. බොහෝ වූ ආහාර පාන පිළියෙල කොට ඇති කල්හි පවා ප්‍රේතව උපන් සත්වයන්ගේ අකුසල කර්මයේ ඇති බලවත්කම නිසා කිසි ඤාතිවරයකුට ඔහු සිහිපත් නොවන්නේ ය ". මේකෙන් පැහැදිලි වෙන්නෙ මැරුණට පස්සේ පින් ලැබෙන්නත් යම් කිසි පිනක් තියෙන්න ඕන කියලයි. හැබැයි මෙයින් අදහස් වෙන්නෙ නැහැ අපි පින් අනුමෝදන් කරන හැම මියගිය ඥාතියාට ම පින් ලැබෙනවා කියලත්. 

ඒක වෙන්නෙ මෙහෙමයි. කෙනෙක් මියගිහින් නැවත් මිනිස් ලෝකයේ ඉපදුණොත්, දෙවියන් අතර, බ්‍රහ්මයන් අතර ඉපදුණොත් මියගිය ඥාතීන්ට අනුමෝදන් කරන පින ඒ අයට ලැබෙන්නෙ නැහැ. ඒ වගේ ම සතර අපායට, ඒ කියන්නේ නිරය, අසුර, තිරිසන් ආදී ලෝක වල උපත ලැබුව අයටත් මේ පින් අනුමෝදන් කළාට ලැබෙන්නෙ නැහැ. ඒ අය තමන් කළ කර්මය අවසන් වෙනතාක් ම ඒ ලෝක වල දුක් විඳිනවා. ප්‍රේත ලෝකයේ උපත ලබාගත් අයට විතරක් මේ පින් අනුමෝදන් වෙන්න පුළුවන්. නමුත් ප්‍රේත ලෝකයේ උපන් හැමෝටමත් එහෙම පින් ලබාගන්න හැකියාවක් නැහැ. ප්‍රේතයන් අතරත් විවිධ වර්ග ඉන්නවා. සිරුර තුළ දැල්වුනු ගිනිදැලෙන් දැවෙන සිරුරු ඇති නිජඣාමතණහික පේ‍්‍රතයෝ, මළමූත්‍ර, සෙම් සොටු පමණකුත් නොලබා, බුද්ධාන්තර ගණන් සා පිපාසා දෙකින් පෙළෙන ඛුප්පිපාසික පේ‍්‍රතයෝ, පස්ගොඩ, කුණුගොඩ, අසූචි වල, කඳු බෑවුම් ආදි අපිරිසුදු තැන්හි උපදින, ගැවසෙන පංසු පිසාචක පේ‍්‍රතයෝ, අන් අය දෙන දෙයින් (පිනෙන්) ජීවත්වන පරදත්තුපජීවික පේ‍්‍රතයෝ, සඳ හිරු එළියක් යන්තම් හෝ නොලබා තද ගණඳුරෙන් වැසුණු, අතරක් නැති තද සීතලෙන් පෙළෙන උන්ගේම සිරුර සිඳ බිඳ හූරා දමන සා දුකින් පෙළෙන කාලකඤජ පේ‍්‍රතයෝ, තුන් ගවු පමණ උස් වු සිවියෙන් සමින් නහරෙන් පමණක් වැසුණු ලේ මස් නැති ඇටසැකිලි දරණ අටඨසංඛලික පේ‍්‍රතයෝ, ඇට නහර වැසු සම පමණකුත් ඇති කුණු වූ මස් ගොඩක් වැනි සිරුරු ඇති මංසපිණ්ඩිත පේ‍්‍රතයෝ ... ආදි වශයෙන් වෙන විවිධ වර්ගවල ප්‍රේතයන් අතරින් පරදත්තුපජීවික පේ‍්‍රතයන්ට පමණක් මේ ජීවත්වෙලා ඉන්න තමන්ගේ ඥාතීන් දෙන පින් අනුමෝදන් වෙන්න, හොඳ උපතක් කරා ගමන් කරන්න හැකියාවක් තියෙනවා.

කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි අනුමෝදන් කරන පින ලබන්න සුදුසු කවුරුත් ම හිටියෙ නැත්තම් මොනවද වෙන්නෙ කියලා. මේ ආත්මයේ තමන්ට එහෙම ඥාතීන් නොසිටියත් මේ සසර පුරාවට ම සැරිසරන කාලයේදි තමන්ට ඥාතීන් කොයිතරම් නම් ඉන්න ඇතිද? තමන්ගේ ඥාතී නොවුණ කෙනෙක් නැති තරම්. ඉතින් ඕන තරම් ඒ වගේ ඥාති පිරිස් ප්‍රේත ලෝක වල ඉන්නවා. ඒ පින් එතකොට ඒ අයට අනුමෝදන් වෙනවා සැකයක් නැතුවම. අපි තව කාටහරි පින් අනුමෝදන් කළා ම අපි රැස් කළ පින් අඩු වෙනවද කියල ත් කෙනෙකුට හිතෙන්න පුළුවනි. ඒක එහෙම වෙන්නෙ නැහැ, හරියට ම කියනවනම් පහන් දැල්ලකින් තව පහනක් දැල්වුවා කියලා මුල් පහනේ දැල්ලට බලපෑමක් නැහැ වගෙයි.

දහමට හිත යොමු කරන්නේ නැතිව, කිසි සිල්ගුණදම් පුරන්නේත් නැති ව, පරම්පරාවෙන් උරුම වුණු වස්තුවෙනුත්, හරි-හම්බ කළ දේවලිනුත් හිත කය පිනවමින් ජීවත් වන හිස් මිනිස්සු බොහෝ දෙනා මරණින් මත්තේ අනුන්ගේ පිනෙන් යැපෙන (පරදත්තූපජීවී) ප්‍රේත නිකායවල උපදින්න හැකියාව තියෙනවා. ඒ නිසා කවුරුහරි මිය ගියාට පස්සේ ඇඬුවා, වැළපුණා, ශෝක වුණා හෝ කියලා මියගිය කෙනාට එයින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. කළ යුතු දේ තමයි තමන් රැස් කරන පින් අනුමෝදන් කිරීම. සමහරවිට ඒ කෙනාට සැප පිණිස උපකාර වෙන්න පුළුවනි. හැබැයි ඒකට කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕන මේ වගේ. ඥාති ප්‍රේතයන්, නෑදෑයන්ගේ පින් බලාපොරොත්තු වීම, ජීවත් ව ඉන්න නෑදෑයන් හැබෑ අවංක සිතින් ඔවුන්ට පින් දීම හා ධාර්මික දාන වස්තු ඒ කාරණා තුනයි. ඒ කරුණු සම්පූර්ණ කරලා පින් අනුමෝදන් කළා ම තමයි මියගිය තමන්ගේ ඥාතියාට සැබෑම ආදරය දැක්වුවා වෙන්නෙ...

ප.ලි: මේ දවස් වල බ්ලොග් බලන්නවත් කමෙන්ට් කරන්නවත් වෙලාව හරිම අඩුයි අන්තිම ෆයිනල් විභාගෙ නිසා... ඒ නිසා හැමෝම ක්ෂමාව භජනය කරන්නෝන :)))) මේ සටහන් ලියන්න යම් යම් කරුණු නමස්කාර බ්ලොග් අඩවියෙන් වගේ ම බුදුසරණ අන්තර්ජාල සටහනෙනුත් ගත්තා. ඒ අයට පින්!

60 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

මැරුණට පස්සෙ අහසේ පාවි පාවි ඉන්න පුළුවන් කාටද ???


කෙනෙක් මැරුණට පස්සේ ඇත්තට ම එයාට මොකද වෙන්නෙ? ඇත්තටම ඒ කෙනා ආයෙ ඉපදෙනවද? නැත්තම් ආයෙ ඉපදෙන්නෙ නැද්ද? ඉපදෙන්න තැනක් ලැබෙනකල් අහසේ පාවි පාවි ඉන්නවද? එහෙමත් නැත්තම් මොනවත් ම වෙන්නෙ නැද්ද ? මේ ගැන එක එක අයගේ තියෙන අදහස් විවිධාකාරයි. ගොඩක් අය හිතන දෙයක් තමයි මැරුණට පස්සේ සිරුරෙන් ආත්මය අයින් වෙලා ගිහින් අවකාශයට වෙලා පාවෙමින් ඉන්නවා අන්තරාභවයක ආයෙත් ඉපදීමක් බලාපොරොත්තුවෙන් ගන්ධබ්බයෙක් විදියට කියලා. තවත් සමහරු කියනවා මැරුණට පස්සේ ඒ කෙනාගේ ආත්මය විශේෂිත ස්ථානයකට ගමන් කරනවා, ආයෙත් මේ ලෝකේ ඉපදීමක් නම් නැහැ කියලා. ඔය වගේ විවිධ අදහස් අහන්න ලැබෙනවනේ. හැබැයි මත ගොඩක් තිබුණට ඒ හැම එකක් ම හරි වෙන්නත් බැහැනේ. නිවැරදි වෙන්න පුළුවන් ඒ අතරින් එකකට විතරයිනේ, එතකොට අනිත් ඒවා ඔක්කොම වැරදි වෙන්න ඕන. ඉතින් මේ උත්සහය හරි ම දේ මොකක්ද කියලා හොයාගෙන යන්නයි. පුළුවන් තරම් සරල ව ලියන්න තමයි මම උත්සහ කළේ. ඒ නිසා අන්තිම වෙනකල් ම කියවගෙන යන්න, එතකොට ප්‍රමාණවත් අවබෝධයක් ලැබේවි.


කෙනෙක් මරණයට පත්වුණාට පස්සේ ඔහුට ඉපදීමට සුදුසු ස්ථානයක් සකස් වී නොතිබුණොත් ඉපදීමට තැනක් සොයමින් අහසේ හැසිරෙන බවත්, ඒ අන්තර්භවය හෙවත් අන්තරාභවය කියන එක ගොඩක් ජනප්‍රිය අදහසක්. ඒ වගේ ම ගොඩක් පැරණි එකක්. හරියටම කියනවනම් අවුරුදු 2300 ක් පැරණියි. ඒකට දිග ඉතිහාසයක් තියෙනවා. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100 ක් ගිය තැන කාලාශෝක රජතුමාගේ කාලයේ වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා දසවස්තුවක් පනවා ගත්තනේ. ඒ නිමිත්තෙන් රේවත මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දෙවැනි ධර්ම සංගායනාව සිදුකළා. ඒකෙදි දස වස්තුව බුදු සසුනට අකැපයි කියලා තීරණය කරලා ඒ දස වස්තුව පිළිගත්ත භික්ෂුන් වහන්සේලා දසදහසක් ශාසනයෙන් ඉවත් කළා. ඒ ඉවත් කළ වජ්ජිපුත්තක නමින් හැඳින්වුණ භික්ෂූන් වෙනම නිකායක් පිහිටුවා ගත්තා. මහාසංගීති නමින් ධර්ම සංගායනාවකුත් පැවැත්වූවා. විශාල පිරිස් පවා අනුගාමිකයන් විදියට හදාගත්තා. පරිනිර්වාණයෙන් අවුරුදු 200 පිරෙන කාලය වන විට ධර්මාශෝක යුගයට ආසන්න කාලයේ ඒගොල්ලන්ගේ නිකාය, තවත් අනු නිකාය 17 කට කැඩිලා ගියා. එතන තිබුණා “පුබ්බ සේලිය” සහ “සම්මිතිය” කියල නිකාය 2 ක්. ඔය නිකාය කොටස් දෙක තමා මේ මනුලොව ඉපදෙන අයට අන්තරාභවයක් තිබේය කියලා මිත්‍යා දෘෂ්ඨියක් ඇතිකෙළේ.


දැන් බලමුකෝ මේ අන්තරාභවය කියලා ඒ අය අදහස් කරන්නේ මොකක්ද කියලා. මරණයෙන් පස්සෙ දෙව්ලොවට, සතර අපායට යන අය කෙළින්ම යනවා. ඒ අයට අන්තරාභවයක් කියලා දෙයක් නැහැ. ඒ වුණත් මිනිස් ලොව උපදින්න ඉන්න අය සුදුසු මවුපියන් ලැබෙනතුරු අහසේ රූපයක් නැතිව නාමකයෙන් විතරක් ඉන්න ගමන් එක තැනක නොසිට ශීඝ‍්‍රයෙන් ඇවිදිමින් දින හතක් හෝ ඊටත් වැඩිය කාලයක් ඉන්නවා. ඒ අන්තරාභවික දෙන්නෙක් හමුවුනාම කතා කරනවා. ගන්ධය ආඝ‍්‍රාණය කරනවා. ඒ අතරෙදි සුදුසු මවුපියෝ දෙන්නෙක් දැක්ක ගමන් ප්‍රතිසන්ධියක් හෙවත් උපතක් ලබාගන්නවා. ඒක තමයි අන්තරාභවය ගැන තියෙන ප්‍රකට ම පිළිගැනීම. මේ අදහස දිගින් දිගට ම ඇවිත් ධර්මාශෝක රජතුමාගේ කාලයෙත් මේ අදහස පැතිරුණා. ඒ නිසා ම ඒ කාලයෙදි පැවැත්වුණ තුන්වෙනි ධර්ම සංගායනාවටත් මේ අදහස ඇතුළත් වුණා. ඒකෙදි මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ නිවැරදි ව මේ ප්‍රශ්නය විසඳනවා වගේ ම ඒක අන්තරාභව වාදය විදියට ඒ කාලේ රචනා වුණ කතාවත්ථු ප‍්‍රකරණය කියන ග්‍රන්ථයටත් ඇතුළත් වෙනවා.

අන්තරාභවයේදී විස්තර වෙන විදියට මැරුණට පස්සෙ රූපයක් නෑ, නාම කයක් විතරයිනේ. ඒ කියන්නෙ සිත පමණක් අහසේ සැරිසරනවා. ඒ වගේ තවත් අන්තරාභවිකයෙක් හමුවුණාම කතා කරනවා. ගන්ධය ආඝ‍්‍රාණය කරනවත් කියනවා. හැබැයි ගැටළුව තමයි රූපකයක් නැතිව කතා කරන්න පුළුවන් ද, ගන්ධය ආඝ‍්‍රාණය කරන්න පුළුවන්ද කියන එක. ඊළඟට අන්තරාභවිකයා බලා ඉන්නව කියනවා හොඳ මවුපිය දෙදෙනෙක් ප්‍රතිසන්ධිය හෙවත් උපත සඳහා. එහෙම බලන්න පුළුවන් නම් දුප්පත් ව, අංග විකලව, පහත් කුලයන් වල මිනිස්සු උපදින්න හේතුවක් නැහැනේ. තමන් කැමැති විදියට ධනවත්ව කුලවත්ව වාසනාවන්තව උපදින්න ඕන. එතකොට මේ ලෝකෙ ඉන්න බෑ දුප්පත් අය. අන්ධ, ගොළු, බිහිරි වෙලා උපදින්න බෑ. මෙමේ විදියට සුදුසු මව්පිය දෙදෙනෙක් ලැබෙනතුරු බලා ඉන්නවා කියන එකත් එතකොට ප්‍රශ්නාර්ථයක් විතරයි තවත්.


ගන්ධබ්බයා කියන වචනයත් ගොඩාක් භාවිතා වෙන වචනයක්, එහි නිවැරදි තේරුම දැන හෝ නොදැන. ගන්ධබ්බ කියන වචනය ධර්මයේ එක එක තැන් වල විවිධ අර්ථ ඇතුව කියැවෙනවා. උදාහරණය විදියට මජ්ඣිම නිකායේ මහා තණ්හා සංඛය සූත‍්‍රයේ සඳහන් වෙන 'ගන්ධබ්බ' කියන වචනය, මරණයෙන් අනතුරුව උපතක් ලබා ගැනීමට සුදුසු පුද්ගලයෙකුයි අදහස් කරන්නෙ. ඒ අනුව රහතන් වහන්සේ හැර සෝවාන් සකදාගාමී අනාගාමීන් වහන්සේලාත් අනෙක් පෘථග්ජන සත්ත්වයනුත් නැවත උත්පත්තිය ලබන නිසා ගන්ධබ්බ නම් වෙනවා. ඒ කියන්නේ දැන් ජීවත්ව සිටින අපිවත් ගන්ධබ්බ කියන වචනයෙන් හඳුන්වන්න පුළුවන්. මහ පිරිතේ අඩංගු ආටානාටිය සූත්‍රයේ එක්තරා තැනක තියෙනවා ගන්ධබ්බෝවා, ගන්ධබ්බීවා, ගන්ධබ්බ පෝතකෝවා, ගන්ධබ්බ පෝතිකාවා විදියට. මෙතනදි අදහස් කරන්නේ චාතුර් මහාරාජික දිව්‍ය ලෝකයට අයිති වීණා වාදනය කරන දිව්‍ය පිරිසක්. මේ විදියට එක එක තැන් වල දැක්වෙන තේරුම එකිනෙකට වෙනස්.

ඊළඟ අහසේ පාවෙමින් ඉන්නවා කියන අවස්ථාව ගැන කියනවා නම් එහෙම ඉන්න එක ම කොට්ඨාසය ප්‍රේතයන් වර්ගයක් විතරයි. ඕපපාතික ව හෙවත් ඉබේ ම පහළ වෙන මේ ප්‍රේතයන් ව සාමාන්‍ය පුද්ගලයන්ට දකින්න හැකියාවක් නැහැ. ඒ වගේ ම ඒ ප්‍රේතයන් ඒ විදියට අවකාශයේ රැඳී ඉන්නෙ ඍද්ධි බලයකින් නෙවෙයි, ඒකට කියන්නේ කර්මවිපාකජසෘද්ධිය කියලයි. ඒ කියන්නේ ඒකත් කර්ම විපාකයක් නිසා ලැබෙන දෙයකුයි. ඒ වගේ ම කෙනෙකුට හිතෙන්න පුලුවන්, ඉපදීමට කෙනෙකුට කර්මානුරූපව සුදුසු මව්කුසක් පිළියෙළ වී නොතිබ්බොත් එයාට මොකද වෙන්නේ කියලා ? කෙනෙකුගේ උපත, මරණය සිද්ධවෙන්නේ කර්ම විපාකයට අනුවමයි. ඒ අනුව කෙනෙක් මරණයට පත්වෙද්දි ඒ පුද්ගලයාට ඉපදීම පිණිස මව්කුසක් හෝ වෙනයම් තැනක් සැකසිලා ඉවරයි තමන්ට හිමි කර්මය අනුව.


කෙටියෙන් ම කියනව නම් පුද්ගලයෙක් මැරුණට පස්සේ, ශක්තිමත් පුරුෂයෙක් හැකිළු අතක් දිග හරිනවාටත් වඩා අඩු කාලයකදී ඒ පුද්ගලයා නැවත උපතක් කරා ගිහින් ඉවරයි. ඒ කියන්නේ ක්ෂණිකව ම. මේ විදියට තමයි ධර්මයේ සඳහන් වෙන්නෙ. ඒ නිසා මේ වෙනකල් වැරදි අදහසක් එහෙම හිතේ තියාගෙන හිටියනම් ඔන්න දැන් ඒක අතාරින්න කාලය. අද ඉල් පුර පෝය දවසනේ. ඉල් පෝය දවසෙදි සිදුවුණ වැදගත් සිදුවීම් තමයි මේ.


  • මෛත්‍රී බෝධිසත්වයන් විවරණ ලැබීම
  • ප්‍රථම රහත් සැටනම ධර්ම චාරිකාවෙහි පිටත්කොට යැවීම
  • තුන් බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරදුන් උරුවෙල් දනව්වට වැඩම කරවීම
  • තව්තිසා දෙව් ලොව සිට මිනිස්‌ ලොවට වැඩීමෙන් පසුව දේවාවරෝහණය දේශනා කිරීම
  • සැරියුත් මහරහතන්ගේ පිරිනිවන් පෑම
  • පසුවස්‌ පවාරණය
  • කඨින චීවර පූජා කළ හැකි චීවර මාසයේ අවසාන දිනය

පසුවදන : සටහන ටිකක් බරපතල වැඩි ද මන්දා, හැබැයි ඉවසීමෙන් කියෙව්වොත් නම් යමක් තේරුම් ගන්නත් පුළුවන්. මේ සටහන ලියන්න ආලෝකෝ උදපාදි සඟරාවේ, පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ සමඟ තිබුණ සාකච්ඡාවක් උදව් වුණා වගේ ම පෝය ගැන විස්තර ගත්තේ Express Puwath අඩවියෙන්. පින්තූරය ගත්තේ මෙතනින්

79 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ඇසිල්ලකින් කාන්තාවක් වුණ සොරෙය්‍ය සිටුවරයා...


කර්ම විපාක කියලා කියන්නෙ අපි හැමෝටම භේදයකින් තොරව ම අපි කරන කියන හිතන දේවලට අනුව අත්විඳින්න වෙන දෙයක්නේ. ඒක බුදුරජාණන් වහන්සේට, රහතන් වහන්සේලා ට පවා පොදු වුණ දෙයක්. අපි කරන හොඳ වැඩ වලට පින් එකතු වෙනවා වගේ ම නරක දේවලට ඒ හා සමානව ම පව් ත් රැස්වෙනවා. අපි කලින් ආත්ම වල කරලා තියෙන පින් බලවත් වෙලා තියෙන තරමට පව් වල විපාක බලවත් වෙන්නෙ නැහැ. හැබැයි අර පින් දුර්වල වුණ ගමන් ම පව් වල විපාක ප්‍රබල වෙනවා. ඒකනේ සමහර අය කියන්නේ සමහරක් අය කොයිතරම් නරක වැඩ කළත් එයාලට කිසි ම කරදරයක් නැහැ, සැපෙන් ඉන්නවා. අපිට තමයි ඔක්කොම කරදර කියලා. අද කතාව, තමන්ගේ අකුසල සිතිවිල්ලක් ඒ වෙලාවෙම විපාක ලබාදුන්න සොරෙය්‍ය සිටුවරයා ගැනයි.

සැවැත් නුවර සමීපයෙහි සොරෙය්‍ය කියන නගරයේ සොරෙය්‍ය නමින් සිටුවරයෙක් වාසය කළා. විවාහ වුණ බිරිඳට වාසනාවන්ත දරු දෙදෙනෙකුත් ලැබුණා. පියෙකු වුණ සිටුවරයා තම බිරියට ද දරුවන්ට ද යුතුකම් නොපරිහෙළා ඉටුකරන්නත් අමතක කළේ නැහැ.



දවසක් යහළු පිරිවරත් සමග සිටුවරයා නාන්නට ගංඟාවකට යන්න කල්පනා කරලා අවශ්‍ය දෑ සූදානම් කරගෙන ඒ සඳහා පිටත් වුණා. ගංගාව ආසන්නයට ළං වෙද්දී ගඟෙහි පැන් පහසු වෙමින් සිටිය මහා කච්චායන රහතන් වහන්සේ ස්නානය අවසන් කරලා ගොඩට ඇවිත් පිඩු සිඟා වඩින්නට සිවුරු පොරවමින් තමයි හිටියේ. කච්චායන තෙරුන් කියලා කියන්නේ ඒ කාලේ මහතෙරුන් අතර වැඩසිටිය රූපයෙන් අග්‍ර ම තෙරුන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේට බැබළෙන රන්වන් ශරීරයක් තිබුණා. උන්වහන්සේ චීවරය සකසා පොරවමින් ඉද්දි සොරෙය්‍ය සිටුවරයා උන්වහන්සේගේ රන්වන් සිරුර ක්ෂණික ව දැක්කා. එවිට සොරෙය්‍ය සිටුවරයාට එක්වරම සිතිවිලි දෙකක් පහළ වුණා. පළමු සිතිවිල්ල, අනේ මේ රන්වන් සිරුක් ඇති කච්චායන තෙරුණුවන් මගේ භාර්යාව බවට පත්වන්නේ නම් කෙතරම් අගනේ ද යනුවෙනුත් දෙවැනි සිතිවිල්ල විදියට මගේ භාර්යාව මේ වැනි රන්වන් ශරීර වර්ණයෙන් යුතු වූවා නම් කෙතරම් අගනේද කියලත්.

මේ උමතු සිතිවිල්ලකි නිසා ම සොරෙය්‍ය සිටුවරයා ක්ෂණිකව ම ලිංග විපර්යාසයකට බඳුන් වුණා. ඔහුගේ පිරිමි බව අතුරුදන් වෙලා කාන්තාවක් බවට හැරුණා. ඒ බව තේරුණ සොරෙය්‍ය සිටුවරයා අතිශයින්ම ලජ්ජාවට පත්වෙලා තම යහළු පිරිවරට නොදැනෙන්නට පලා ගියා. පලා ගිය ඇය(කලින් සොරෙය්‍ය සිටුවරයා) තක්සලා නුවරට යන පාරට ඇවිත් එහිදී වෙළෙඳ කණ්ඩායමක් හමු වෙලා ඒ පසු පස තක්සලා නුවර කරා ගමන් කරන්නට පටන් ගත්තා. නාන්නට පැමිණි යාළුවෝ තම මිත්‍රයා එහි නැහැ කියලා දැකලා ගඟේ ගිලිලා මැරුණා කියලා හිතලා ඥාතින් එක්ක එකතුවෙලා ශෝක වෙලා දන් පැන් පිරිනමලා පින් පැමිණුවා.

තක්සලා නුවරට යන ඇය(කලින් සොරෙය්‍ය සිටුවරයා) එහි සිටුපුත්‍රයාත් එක්ක විවාහ වෙලා ඒකේ ප්‍රතිඵලයක් විදියට දරුවන් දෙන්නෙකුත් බිහිකරනවා. පියෙකු ලෙස දරුවන් දෙන්නෙක් ලද සොරෙය්‍ය සිටුවරයා මවක් ලෙසත් දරුවන් දෙන්නෙක් ලබනවා. දවසක් ඇය තම මැදුරේ උඩුමහලේ කවුළුවකින් පාර දෙස බලාගෙන ඉද්දි අතීතයේ තමා සමඟ දිය නාන්නට ගංඟාවට ගිය තමන්ගේ සමීප මිත්‍රයෙක් පාරේ යනවා දැකලා දාසියක් යවලා මැදුරට ගෙන්වාගෙන බොහෝ සත්කාර කරනවා 

එවිට ඒ කෙනා අහනවා තමන්ට මේ විදියට සංග්‍රහ කරන්නේ ඇයි?, මීට පෙර තමා හඳුනනවාද? යනාදි වශයෙන් ප්‍රශ්න ගොඩක්. එවිට ඇය කියනවා, "මිත්‍රය ඔබ මම හොඳින් හඳුනමි. ඔබ සොරෙය්‍ය නුවර වැසියෙකු නෙවේද?" ආදි වශයෙන්. එසේය සොඳුර කියලා පිළිතුරු දෙන මිත්‍රයාට තම කලින් නිවසේ තොරතුරු සියල්ල නොවලහා කියල ඇය සොරොය්‍ය සිටුවරයා පිළිබඳවත් විමසනවා. එතකොට යාළුවා කියනවා ඔහු මිය ගිහින් බොහෝ කල් කියලා. එවිට ඇය ඒ සිටුපුත්‍රයා තමා බව හඳුන්වලා දෙනවා. මේ හමුවීමෙන් විස්මයට පත්වෙන මිත්‍රයා ඇයගෙන් තවදුරටත් තොරතුරු විමසනවා. එවිට එම අතීත සිදුවීම මුල සිට අග දක්වා ඇය කියන ඇය, දැන් තමාට නැවත පිරිමියෙකු වෙලා සොරෙය්‍ය නගරට යා යුතු බවත් ඒ සඳහා කච්චායන මහ රහතන් වහන්සේ හමු වෙලා පාපොච්චාරණයක් කොට සමාව ගත යුතු බවත් ඒ සඳහා මහා කච්චායන රහතන් වහන්සේ තම නිවසට දානය සඳහා වඩමවා දෙන්නැයි බැගෑපත්ව ඇය තමගේ මිතුරාගෙන් ඉල්ලා සිටිනවා.

ඇයට සිදුව ඇති ඇබැද්දිය තේරුම් ගත්ත මිත්‍රයා මහා කච්චායන රහතන් වහන්සේ හමුවෙලා එම නිවසේ පසුදින දානයට වඩින්නට ආරාධනා කරනවා. උන්වහන්සේ ආරාධනාව පිළිගෙන පසුදින ඇගේ නිවසට වැඩම කළ කරනවා. ඇය උන්වහන්සේ වඩා හිඳුවා ප්‍රණීත ආහාරයෙන් වළඳවා උන්වහන්සේ වෙතින් සමාව භජනය කළාය. ඇය තෙරුන් වහන්සේට තෙරුන් වහන්සේට සිදුවූ සියල්ල පාපොච්චාරණය කළා. කච්චායන මහ රහතන් වහන්සේ, තමන් හේතුකොට ගෙන සොරෙය්‍ය සිටුවරයා තුළ හටගත්ත රාගසිතිවිලි වලට සමාව දෙනවා. ඒත් එක්ක ම ඇය නැවත වරක් පිරිමියෙකු බවට පත් වෙනවා.

සොරෙය්‍ය සිටුවරයාට අකුසල කර්මය හේතුවෙන් එකම භවයෙක චරිත තුනක් විදියට හැසිරෙන්නට සිද්ධවුණා. ඒ පියෙකු, මවක ලෙස හා නැවත පියෙකු ලෙස. ඒ බව මෙනෙහි කරන සොරෙය්‍ය සිටුවරයා සංසාරයේ කිසිදා මේ විදියට විප්‍රකාරයට පත් නොවන්නට ප්‍රාර්ථනා කරමින් මහා කච්චායන රහතන් වහන්සේ වෙතින් පැවිදි වෙන්නට ආයාචනා කරනවා. දරුවන් සිප වැළඳ පියාට භාර දුන්න සොරෙය්‍ය සිටුවරයා, තෙරුන් වහන්සේ ළඟ පැවිදි බව ලබලා සොරෙය්‍ය තෙරුන් වහන්සේ නමින් ප්‍රසිද්ධ වුණා. මේ තොරතුරු ඇහුව බොහෝ දෙනා උන්වහන්සේ වෙතට ඇවිත්ජීවිත ගණනක සංකීර්ණත්වය විමසන්න පටන්ගත්තා. ඒ අතර තවත් අය ඇහුවේ පියෙකු ලෙස ලද දරුවන් දෙදෙනා හා මවක ලෙස ලද දරුවන් අතරින් වඩා සෙනෙහවන්ත කවර දරුවන් දෙදෙනාටද කියා. සොරෙය්‍ය තෙරුන් වහන්සේ කියා සිටියේ තමන්ගේ කුසෙහි උපන් දරු දෙදෙනාට වඩා සෙනෙහෙබර බවයි. බොහෝ දෙනා ඇසූ ප්‍රශ්නයට මේ විදියට පිළිතුරු දුන් උන්වහන්සේ තවත් කල් යද්දි, කිසිවෙකුට හෝ සෙනෙහෙවන්ත නැතැයි කියන්නට පටන් ගත්තා. මිනිස්සු බුදුරජාණන් වහන්සේ හමුවෙලා සොරෙය්‍ය තෙරුන් බොරු කියති’යි කියලා පැමිණිලි කරන්න පටන්ගත්තා. එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ සොරෙය්‍ය තෙරුන් වහන්සේ මාර්ග ඤාණ උපදවා ගත් වේලෙහි පටන් කිසිවකු කෙරෙහි ස්නේහයක් හෝ බැඳීමක් නැහැ කියලයි.

රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ගුණධර්ම වලින් පරිපූර්ණ කෙනෙක්. ඉතින් ඒ වගේ අය හේතු කරගෙන සිදුවෙන කර්ම වල විපාක(පින්/පව් ) හරි ම ප්‍රබලයි. ඒකයි ක්ෂණික ව සිටුවරයාට තමන්ගේ සිතුවිල්ල විපාක දෙන්න ඇත්තේ. ඒ වගේ ම තමයි දැන් කාලෙ වුණත් ගුණ දහම් වලින් වැඩි අය මූලික කරගෙන සිද්ධ වෙන කර්ම වල විපාක ප්‍රබලයි. ඒ නිසා කෙනෙකුට චෝදනා කරද්දි වුණත් පරෙස්සමෙන්.....

ප.ලි: මේ කතාව ආයෙමත් මතක් වුණේ අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ බුදුසරණ පත්තරේට ලියලා තිබුණ ලිපියක් දැකලයි. මේ දවස් වල හොඳටම කාර්යයබහුලයි. කැම්පස් ස්ට්‍රයික් කාලේ අපි ට්‍රේනින් පටන් ගත්ත නිසා දැන් ලෙක්චර්ස් සති අන්තෙට දාලා. සතියේ දවස් පහේ ම ඔපීසියේ වැඩ. සිකුරාදා රෑ කැම්පස් යනවා, ඉරිදා රෑ වෙලා ආයෙ වැඩට එනවා. සතියෙ මැද එසයිමන්ට් එහෙමත් එනවා අපරාදේ කියන්න බෑ!!! ඒ මදිවට තව සති දෙකකින් විභාගේ පටන් ගන්නවා. ඒකත් සති අන්ත වල තියෙන්නෙ. ඒ නිසා වැඩිය මේ පැත්තේ එන්න වෙන එකක් නම් නැහැ ජනේරුව වෙනකල් ම. අහිතක් හිතන්න එපා ඔන්න!!!!!
 
කර්ම විපාක ගැන තවත් කියවන්න කැමති නම් මේ pdf එක බාගත කරගෙන කියවන්න.

46 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

මගේ හිත ඔයා ලඟ ද මං ලඟද...?



මේ වගෙ දෙයක් ගැන ලියන්න ඕනේ කියලා ගොඩාක් දවස් හිතාගෙන හිටියට එක එක කරුණු නිසා ඒක කල් ගියා. අද නම් මේ ආදරණිය හිත ගැන ලියනවාමයි කියලා හිතාගත්ත නිසාම කොහොමහරි සටහන ලියාගන්න පුලුවන් වුනා. බුද්ධියට වඩා හැඟීම් වලට මුල් තැන දෙන සමාජයක් ඇතුලේ හිත ගැන ගොඩාක් අර්ථ දැක්වීම් අපිට දකින්න පුලුවන් ටිකක් ඇස් කන් ඇරගෙන හිටියොත් එහෙම....! මේ ගැන ගොඩක් දෙනෙකුට හරියටම තේරුමක් නැති නිසා ආදරණීය හිත ගැන දැනගන්න එක හොඳයි කියලා මට හිතුනා. හිත ගැන එක එක්කෙනාගෙ අදහස් විවිධාකාරයි. අද කාලේ අපි ඇසුරු කරන සමාජය වුනත් අපිව නොමඟ යවන සුළුයි මේ අහන්න දකින්න ලැබෙන දේවල් නිසා. අපි හරිම දේ දැනගෙන හිටියේ නැත්නම් තව කෙනෙකුට උනත් අපිට පාර වරද්දන්න පුලුවන් ලේසියෙන්ම. එහෙම නේද?

සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන පිළිවෙල දිහා බැලුවම අපිට තේරෙන දෙයක් තමයි අපේ ශරීරයයි, හිතයි කියන්නේ එකිනෙකට සපුරා වෙනස් දෙයක් කියලා. ඒක ඇත්ත. අපි හිතට ඇලෙනවා\වසඟ වෙනවා කියන්නෙත් ශරීරයට ඇලෙනවා කියන්නෙත් ඒ වගේම වෙනස් ක්‍රියාවන් දෙකක් නේ. මේ දෙකෙන් ශරීරයට ඇලී ඉන්නවා කියන දේ අපිට තේරෙන දෙයක් වුනත් හිතට ඇලෙනවා කියන දේ ලේසියෙන් තේරෙන්නෙ නෑ. ඇයි මම එහෙම කියන්නෙ? අපිට අසනීපයක් වුනාම, තුවාලයක් වුනාම එහෙමත් නැත්නම් උහුලන්න බැරි රස්නයක්, සීතලක් දැනුනාම අපේ ඇඟට ඒක දැනෙනවානේ. එතකොට නම් හිතෙනවා මේ ලෙඩ හැදෙන,රිදෙන ඇඟ මොනාටද, මේ මොන වධයක්ද කරුමයක්ද කියලා. අපි අපේ ඇඟ ගැන ලේසියෙන්ම කළකිරෙනවා නේද? ඒ වගේම බරපතල අසනීපයක් හැදුන, වයසට යන එහෙමත් නැත්නම් එක්තැන් වෙලා දුක් විඳින අය දැක්කමත් ලොකු කළකිරීමක් ඇතිවෙනවා නේද අනේ මට නම් එහෙම වෙන්නෙපා කියලා! ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, කතා කරන්න බැරි, ඇවිදින්න බැරි අය දැක්කමත් හිතෙනවා මේ වගේ ජීවිතයක් නම් මොනාටද කියලා නේද?


ඒ විදියට අපි අපේ ශරීරය ගැන කළකිරුනට අපි ලේසියෙන් හිත ගැන නම් කළකිරෙන්නේ නෑ නේද? සමහරවෙලාවට නම් එහෙම කළකිරෙන දේවල් අපට ඇතිවෙනවා, උදාහරණයක් විදියට අපේ ආදරණීයයෙක් අපෙන් සමුගත්තොත් වගේ වෙලාවට, නමුත් ඒක පවතින්නේ ඉතාම සුළු මොහොතයි නේද? ඊට වඩා කෙනෙක් ලැබුන ගමන් අර හැමදේම ඉක්මනටම අමතක වෙලා යනවා. ඒකයි මම කිව්වේ! මැරුණ, පණ අදින මිනිස්සු දැකලා අපිට හිතෙනවා මේ ඇඟ නම් අපිට ඉක්මනටම කවදාහරි දාලා යන්න වෙනවා, මේ ඇඟ නම් මගේ නෙවෙයි තමයි කියලා. ඒ වුනත් අපිට හිත ගැන නම් එහෙම කවදාවත් හිතෙන්නෑ නේද?

මේ මගේ හිතමයි කියලාම තමයි හිතෙන්නේ නේද? මේ හිතට අපි ගොඩාක් ආදරය කරන්නේ කවදාවත් දාලා යයි කියන හැඟීමකින් නෙවෙයිනේ නේද! අපි ආදරණීය හිත කියනදේ ගොඩාක් සතුටින් පිළිගන්නවා, වැළඳගන්නවනේ. ඉතින් ඒක තමයි අපිට හැමදාම නොදැනීම සිද්ධ වුන වැරැද්ද. මේ තමයි අපේ ජීවිතේ අපි වුන ලොකුම රැවටීම! ඒක එහෙම වෙන්න හේතුවක් තියෙනවා, ඒ තමයි අපි අපේ හිතේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගෙන නැති එක. එහෙම ඒ ගැන දන්නවා නම් අපි කවදාවත් මේ හිත දිහා මම, මගේ කියලා බලන්නෙ නෑ. ඒ ගැන බුදුරජාණන් වහන්සේ අපූරුවට දේශනා කරලා තියෙනවා. අපි ශරීරයේ ආදීනව දැකලා, ඒ ගැන නුවණින් මෙනෙහි කරලා ශරීරයේ අනිත්‍යය තේරුම් ගන්නවා වගේම සිතේ ක්‍රියාකාරිත්වය දිහා බලලා අනිත්‍යය ස්වභාවයත් තේරුම් ගත්තා නම් මේ මායාකාරී රැවටිල්ලට අහුවෙන්නේ නෑ.

හිත කියන දේ අපිව නියම දිශාවට වගේම වැරදි දිශාවලටත් අරන් යන්න පුලුවන්, ඒකට රුවල් ඔරුවකට වගේ එහෙමත් නැත්නම් සරුංගලයකට වගේ ඔහේ යන්න දුන්නොත්. ඒ නිසා ඒ සරුංගලයේ නූල අපි අතට අරන් යා යුතු නිවැරදි දිශාව තීරණය කරන්නා අපි ම වෙන්නෝන. ඒක කරන්න නම් සරුංගලයේ/රුවල් ඔරුවේ ක්‍රියාකාරිත්වය (Mechanism) එක ගැන අපි හොඳින් දැනගෙන ඉන්නෝන. සිතේ ක්‍රියාකාරිත්වය ගැන තවත් ලියන්න ගියොත් නම් සටහන තවත් ගොඩක් දිග වෙනවා. ඒ නිසාම මම හිතන්නේ අපි මේ හිතේ ඇත්ත ස්වභාවය(මායාකාරී රැවටිලිකාර ) හඳුනාගෙන වැඩ කළා නම් අපිට ගොඩාක් වෙලාවට ඇතිවෙන සිත් රිදීම්, මානසික තැවුල් එහෙම අඩුකරගෙන ලොකු ශක්තියකින් යුතුව ජීවිතයට මුහුණ දෙන්න ලේසියෙන්ම පුලුවන්.

මේ වප් පෝය දවසනේ. වප් පෝය දවසේ බුදුසසුනේ ගොඩක් වැදගත් සිදුවීම් වෙලා තියෙනවා. මේ ඒ සිදුවීම්...

1. බුදුපියාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට සංකස්ස නුවරට වැඩම වීම
2. මෛත්‍රී බෝසතාණන් වහන්සේ පැවිදිවීම
3. සැරියුත් හිමියන්ට ප්‍රඥාවෙන් අගතැන් තනතුර ප්‍රදානය කිරීම
4. සංඝමිත්තා තෙරණිය වැඩමවීමට අරිට්ඨ ඇමතිවරයා දඹදිවට පිටත්වීම
5. අරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් ථූපාරාමයේ කරන ලද විනය සංගායනාව
6. ජය ශ්‍රී මහා බෝධි අංකුරය පිහිටුවීම
7. වස් පවාරණය කිරීම/කඨින චීවර පූජා කිරීම

විමර්ශන : බුදු සමිඳු දැක ගනිමු (පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ), බුදුසරණ අන්තර්ජාල කලාපය

ප.ලි: අධික කාර්යබහුලකම නිසා ම කණගාටුවෙන් වුණත් පෝ දින විශේෂ සටහන වෙනුවෙන් 2011 පෙබරවාරි වල ලිව්ව පැරණි සටහනක් ආයෙම පළ කරන්න හිතුවා. (වැඩි දෙනෙක් කියවලත් නැතුව ඇති කියලා හිතනවා මං).

52 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

මිලින්ද රජු පැරදවූ නාගසේන හාමුදුරුවෝ....


මිලින්ද-නාගසේන ප්‍රශ්නය කියන කතාව තමයි අද කියන්න යන්නේ. මේක බොහෝම ඵෛතිහාසික ප්‍රසිද්ධ කතාවක්. මෙතනදි නාගසේන කියලා හඳුන්වන්නේ රහතන් වහන්සේ නමක්. මිලින්ද කියලා හඳුන්වන්නේ රජකෙනෙක් ව. මිලින්ද රජතුමා ගැන විස්තර කරද්දි මෞර්ය රාජ වංශයේ ධර්මාශෝක රජතුමා ත් සම්බන්ධ වෙනවා. ධර්මාශෝක රජතුමාගේ පියා තමයි බින්දුසාර රජතුමා. බින්දුසාර රජතුමාගේ පියා තමයි චන්ද්‍රගුප්ත රජතුමා. මේ චන්ද්‍රගුප්ත රජතුමා මෞර්ය රාජ වංශය ආරම්භ කරමින් ක්‍රි.පූ 321 දී බලයට පත්වෙන්නෙ එවකට ඉන්දියාව පාලනය කරමින් හිටිය නන්ද රාජ වංශය පරාජය කරලයි. ක්‍රි.පූ. 316 වන විට වයඹ දිග ඉන්දියාවත්, මධ්‍යම හා දකුණු ඉන්දියාව හා බටහිර දෙසටත් බලය පතුරවන්න චන්ද්‍රගුප්ත රජතුමා සමත් වෙනවා. වර්තමාන පැට්නා හෙවත් පාටලීපුත්‍රය අගනුවර කරගෙන දුර්ධාරා කුමරියත් සමඟ විවාහ වුණ ජෛන ආගමිකයෙක් වෙන චන්ද්‍රගුප්ත රජතුමා ජෛන ආගමට බොහෝ සෙයින් අනුග්‍රහ දක්වනවා. වියපත් වීමත් එක්ක ම චන්ද්‍රගුප්ත රජතුමා තම රජකම සහ රාජ්‍යය පුත්‍රයා වුණ බින්දුසාර ට පවරා දීලා ජෛන පූජකයන් සමඟ එක් වෙනවා. පසු කාලෙක චන්ද්‍රගුප්ත රජතුමා ආචාර්ය භද්‍රබාහුගේ ශිෂ්‍යයෙකු බවට පත්වෙලා අවසන් දින කිහිපයකදී ආත්මය පාරිශුද්ධ කරන්නා වු ජෛන පිළිවෙතක් අනුගමනය කරමින් කර්ණාටක ප්‍රාන්තයේ බේලගොල ආශ්‍රමයේ දී මරණයට පත්වෙනවා.

චන්ද්‍රගුප්ත රජතුමාගෙන් පස්සේ ක්‍රි.පු. 298 දී රජකමට පත්වෙන දෙවිසි වියැති බින්දුසාර රජතුමා රාජ්‍යය තවත් පුළුල් කරනවා. මේ කාලේ වෙද්දි මෞර්ය අධිරාජ්‍යය උතුරින් ස්වාභාවික දේශ සීමාවක් වන හිමාලය දක්වාද, නැගෙනහිරින් ඇසෑමය දක්වාත් බටහිරින් වර්තමාන පාකිස්ථානයද, ඇෆ්ගනිස්ථානයේ වැදගත් ප්‍රදේශ වන හේරාට් සහ කන්දහාර් පළාත්ද ,ඉරානයට අයත් සිස්තාන් සහ බලුකිස්ථාන් කියන පළාත් සහ ඉන්දියාවෙන් එතෙර මැසිඩෝනියානු නීතිය යටතේ පවතින ප්‍රදේශ දක්වා පුළුල් වෙනවා. හිතාගන්නකෝ කොයිතරම් ලොකු ඇතිද කියලා මේ අධිරාජ්‍යය... පහල තියෙන සිතියම බලන්නකෝ, තද නිල් පාටින් දක්වලා තියෙන්නෙ මෞර්ය අධිරාජ්‍යයට අයිති ප්‍රදේශය.(අශෝක අධිරාජ්‍යයා ගෙනුත් පස්සෙ ) සිතියමේ හැටියට ඉන්දියාවේ දකුණු ප්‍රදේශය, ඒ කියන්නේ චෝල, පාණ්ඩ්‍ය රාජ්‍යයන් සහ ශ්‍රී ලංකාව මෞර්ය අධිරාජ්‍යයට කප්පම් ගෙවන රාජ්‍යයන් විදියට තමයි දක්වලා තියෙන්නෙ. (හැබැයි ලංකාව ඇත්තට ම ඒ කාලේ එහෙම කප්පම් දුන්නද කියලා හරියටම හොයාගන්න බැරිවුණා!). මෞර්ය අධිරාජ්‍යයා සතුව පැවති බලසම්පන්න හමුදාව එහි පුළුල් ව්‍යාප්තිය සඳහා මහත් රුකුලක් වුණා කියලා තමයි කියන්නෙ. මෙගස්තිනිස් නම් ග්‍රීක ජාතික දේශාටකයාගේ වාර්තාවන්ට අනුව මෙම හමුදාව 600,000 පමණ වූ භට පිරිසකගෙන්, 30 000 පමණ වූ යුධ අශ්වයින්ගෙන්, 9000 පමණ වූ යුධ ඇතුන්ගෙන් ද සමන්විත වෙලා තියෙනවා වගේ ම මුළු අධිරාජ්‍යයම ආවරණය වන පරිදි පැවති පුළුල් ඔත්තු සේවා ජාලයකුත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. බින්දුසාර රජතුමාගේ පුතුන් දෙදෙනා වූණ සුසිම සහ අශෝක, තක්ෂිලා සහ උජෙයින් කියන නගර වල යාපා ‍පදවි දැරුවා. (සිතියම බලන්න). ආගම් ගැන කියනවනම් බින්දුසාර රජතුමා අනුග්‍රය දැක්වුවේ ආජීවක දහමටයි. ක්‍රි.පු. 272 දි බින්දුසාර අධිරාජ්‍යයා මියයෑමෙන් අනතුරුව අනුප්‍රප්තිකයා විදියට ඊළඟට රජවෙන්නෙ බින්දුසාර රජතුමාගේ පුත්‍රයෙක් වුණ අශෝක කුමාරයයි.

කෞටිල්‍ය පඩිවරයා විසින් රචිත "අර්ථශාස්ත්‍රයෙහි” සඳහන් වන විදියට අශෝක මෞර්ය අධිරාජ්‍යයාගේ පාලනය ඒකාධිපතිවාදී ස්වරූපයක් තමයි පෙන්නුම් කරලා තියෙන්නෙ. චණ්ඩාශෝක කියලා කුප්‍රසිද්ධ වෙන්නත් හේතුව ඒක ම වෙන්න ඕන. ඒ වෙනකොටත් මෞර්ය අධිරාජ්‍යයට යටත් නොවුණු කාලිංග දේශය යටත් කරගැනීමේ සටනින් ජයග්‍රහණය කරන්න අශෝක අධිරාජයා සමත් වුණත් යුධ බිමෙන් නොනවත්වා ඇහෙන තුවාල වූවන්ගේ වේදනා හඬවල්, මියගිය අයගේ ඥාතීන්ගේ විලාප හඬවල් රජතුමාගේ හිත කම්පනයට ලක් කරනවා. ඒ කාලේ තමයි රජ මාලිගාව ඉදිරිපිටින් වඩින නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ගේ සන්සුන් ඉරියව් දැකලා පැහැදෙන්නෙ. ඒ ගැන රසවත් කථාවකුත් තියෙනවානේ. අහලා තියෙනවද මන්දා. අශෝක රජතුමා නිග්‍රෝධ සාමණේරයන් වහන්සේව මාළිගයට වැඩම කරවලා, තමා කැමති ආසනයකින් වැඩ හිඳින්න කියල ආරාධනා කළා. එතකොට නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ සුදුසු තැනක් බැලුවා. දැන් උන්වහන්සේ දන්නව මේ තමා ඉදිරියෙ ඉන්නෙ මුළු දඹදිව් තලයම ත්‍රස්තයට පත් කරවපු අධිරාජයා කියල. ඒ වුනාට උන්වහන්සේට මොහොතකටවත් බියක්, තැති ගැනීමක් හෝ අමුතු හැඟීමක් ඇති වුනේ නෑ. උන්වහන්සෙ දන්නවා මෙතන ඉන්න බලවත්ම කෙනා උන්වහන්සේ බව. ඒකට හේතුව තමයි උන්වහන්සේ ලෝකයේ පහල වෙච්ච ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වීම. ඒ නිසා පුංචි උනත් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කිසිම තැති ගැනීමක් නැතිව රජ්ජුරුවන්ගේ සිංහාසනයේම අසුන් ගත්තා. අශෝක අධිරාජයත් නිහතමානී විදියට පහත් අසුනකින් හිඳගත්තා. ව්‍යක්ත, විනීත, විශාරද , බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනෙක් නිසා රජතුමා අහන ප්‍රශ්න වලට පහසුවෙන් උත්තර දෙන්නත් උන්වහන්සේ ට හැකියාව ලැබුණා. ඒ වගේ ම නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ “ අප්පමාදෝ අමතපදං” යන ගාථාව මුල් කර ගෙන රජතුමාට ධර්මය දේශනා කරනවා. ධ‍්රමය කෙරේ පැහැදුණ අධිරාජයා අර පුංචි සාමණේරයන් වෙතින් තෙරුවන් සරණට පත්වෙලා පංච ශීලයෙහි පිහිටියා.එදා ඉඳල චණ්ඩ ගති අත හැරල ධර්මය ප්‍රගුණ කරන්න පටන් ගත්තා වගේ ම ධාර්මික රජ කෙනෙක් බවටත් පත් වුණා.


ධර්මාශෝක රජතුමාගෙන් බුදුදහමට වුණ අනුග්‍රහයන් විස්තර කරන්න ඕන නැහැ කියලා හිතනවා, හැමෝම දන්න නිසා. ධර්මාශෝක රජතුමා ක්‍රි.පූ 232 දී මරණයට පත්වෙනවා. ධර්මාශෝක රජතුමාගෙන් පස්සේ රජකම උරුම වෙලා තිබුණ තීවර, කුණාල, ජලෞක කියන පුත් කුමාරවරුන්ට හරියට මේ සුවිසල් රාජ්‍යය පාලනය කරගන්න බැරිවෙනවා. ඒ නිසා ම රාජ්‍යය අස්ථාවර බවට පත්වෙනවා. මේ අර්බුදය දැනගත්ත පුෂ්පමිත්‍ර නම් සෙනවියා, ඒ කාලේ රජකළ ධර්මාශෝක මුණුපුරකු වූ බ්‍රැහැත්රථ මරා දාලා මෞර්ය වංශය සම්පූර්ණයෙන් ඉතිහාසයට එක්‌ කරනවා. මේ නිසාම දඹදිව රාජ්‍යය කෑලි කෑලිවලට කැඩිලා ගිහිල්ලා කුඩා රාජ්‍යයන් ගණනාවකට වෙන වෙනවා. මුලින් කිව්වා මතකද ධර්මාශෝක රජතුමාගේ සීයා වෙන චන්ද්‍රගුප්ත රජතුමා, මැසිඩෝනියානු ප්‍රදේශත් යටත් කරගත්තා කියලා. මෙහිදී චන්ද්‍රගුප්ත රජතුමාගෙන් පැරදිලා පලා ගියේ ග්‍රීකයන්. මෞර්ය රාජ්‍යය අස්ථාවරයි කියලා දැනගත්ත ග්‍රීකයනුත් මේ රාජ්‍යය ට බැල්ම හෙලන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ක්‍රි.පූ 200 දි විතර යුතෙමඩස්‌ කියන ග්‍රීක රජතුමා වර්තමාන ඇෆ්ගනිස්‌තානයේ කොටසක්‌ අල්ලාගෙන පාලනය කරන්න පටන්ගත්තා. ඉන්පසු රජවුණ යුක්‍රටඩීස්‌ රජු සාගල නුවරත් යටත් කරගෙන වයඹ දිග ඉන්දියාව පාලනය කළා. එයින් පස්සේ සාගල නුවර රජකමට පත්වුණේ මිනෙන්ඩර්(මෙනැන්ඩර්) නමින් ප්‍රකට වූණ මිළිඳු රජතුමා. මේ සාගල නුවර කියන්නෙ වර්තමාන පකිස්‌තානයේ සියල්කොට්‌ නගරය තියෙන ප්‍රදේශයටයි. මේ සාගලපුරය ඉතාම සශ්‍රීක රාජ්‍යයක්‌ වුණා වගේම සතරවරම් දෙවියන්ගෙන් කෙනෙක් වුණ වෛශ්‍රවණ දිව්‍යරාජයාගේ ආලකමන්දා දිව්‍යපුරයට තමයි සමාන කරලා හඳුන්වන්නෙ. ඒ තරම් දියුණු, සශ්‍රීක නගරයක්. මේ මිළිඳු රජතුමා අවුරුදු 20 ක්‌ සාගල පුරවරයේ රාජ්‍යය පාලනය කළා. ඒ අතරතුරේදි තමයි මේ මිලින්ද-නාගසේන ප්‍රශ්නය ඇතිවෙන්නෙ.

ඉතා පණ්‌ඩිත ප්‍රඥවක්‌ ඇති සියලු කටයුත්තෙයි දක්‍ෂ මිළිඳු රජතුමා සමඟ වාදයට එළැඹීම අපහසු වූ රහතන් වහන්සේලා පවා සාගල පුරවරය හැර ගියා කියලා තමයි කියන්නේ. මිලින්ද රජතුමා ඒ තරම් ම නුවණැති කෙනෙක්. ඉතින් බොහෝ රහතන් වහන්සේලාට වාද කරලා පරාජයට පත් කරන්න බැරි වුණ මිලින්ද රජතුමා ව නාගසේන හාමුදුරුවෝ පරාජය කළේ කොහොමද කියලා ලබන සතියේ කියවමු එහෙනම්. කතාව කියවන්න කලින් ඒ කාලේ වටාපිටාව දැනගෙන ඉන්න එක හොඳයි කියලා හිතුණ නිසා තමයි මේ විස්තර ටික දැම්මේ.

ප.ලි: ඉදිරි මාස දෙක හරිම කාර්යබහුල වෙන ලකුණු තියෙන නිසා පෝස්ට් දානකොට ටිකක් ටිකක් පරක්කු වේවි සමහරවිට!!!! උදව් කළා විකිපීඩියාව සහ හොඳ ඔක්කොම කියන අඩවියත්...

63 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

නගර අසූහතරදාහක් අතරේ වහළෙන් වහළෙට පැන පැන යන කුකුළෙක්...



කලින් සටහනේ නැවැත්තුවේ, ලෝකයේ හිටිය බොහෝ දෙනා එකිනෙකා මරාගෙන විනාශ වුණ තැනින් නේ. අම්මා පුතා ව වත් පුතා අම්මාව වත්, තාත්තා දුවව වත් දුව තාත්තව වත් අඳුරාගන්නෙ නැතුව එකිනෙකා මරාගන්න එක කොයිතරම් නම් ශෝචනීය දෙයක් ද? කොහොම වුණත් ඒ දේවල් අනාගතයේ දි සිද්ධ වේවි කියලා හිතෙනවා දැන අහන දකින දේවල් වලින් පවා. ඒත් ඒ දේවල් සිදුවෙන එක නවත්වන්න කාටවත් බැහැනේ. ඉතින් මේ විනාශයෙන් සුළු පිරිසක් ඉතුරු වුණා කියලා මම කලින් කිව්වනේ, ඒ අය තමන්ගේ ආයුෂ අවුරුදු 80,000 ක් වෙනකල් වර්ධනය කරගත්තේ කොහොමද කියලයි මේ කියන්න යන්නේ.

මේ ඉතුරු වුණ පිරිස හරීම ප්‍රඥාවන්ත කොටසක්. ඒ අය මේ විනාශයෙන් පස්සෙ හුදෙකලා තැන්වලට ගිහිල්ලා කල්පනා කළා ඇයි මෙහෙම වුණේ කියලා. ඊට පස්සෙ ඒ අය මේ විදියට කල්පනා කරනවා. "අපි කිසිවකු නොමරමු, කිසිවෙක් අප නොමරත්වා! අපි තණ ලැහැප්වලට හෝ පඳුරු වලින් ගැවසීගත් ස්ථාන වලට හෝ ගස්වලින් ගැවසීගත් ස්ථාන වලට හෝ ගංගා මැද දූපත වලට හෝ කඳුමුදුන් වලට හෝ පැමිණ වනයෙහිවූ අල, මුල් පලවැල කා ජීවත් වන්නෙමු නම් යහපතැයි" එහෙම හිතලා ධාර්මික ව ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒත් එක්ක ම ඔවුන් තුළ කුසල් ධර්මයන් වැඩෙන්න පටන් ගන්නවා. අකුසල්, පව් දවසින් දවසම දුරුකරගන්නවා. ඒ නිසා ම ඒ අයගේ ආයුෂ, වර්ණය වැඩෙන්න පටන් ගන්නවා. කාලයක් ගියා ම මේ අයගේ පරමායුෂ අවුරුදු විස්ස දක්වා වැඩිවෙනවා. මේ විදියට කුසල ධර්මයන් පුරුදු කරගෙන අකුසල ධර්මයන් නැතිකරමින් තමන්ගේ ආයුෂ අවුරුදු දහස , විසිදහස, හතළිස්දහස අන්තිමේට අවුරුදු අසූදහස දක්වා ම වැඩිවෙනවා.

මිනිස්සුන්ට අවුරුදු 80,000ක් ආයුෂ ඇති කාලයේ දී ඒ අය කායික රෝගාබාධ වලින් තොරයි. කුසගින්න, නිදිමත සහ වයසට යෑම විතරයි ඒ අයට පවතින ආබාධ හැටියට කියන්නේ. ඒ කාලයේ දඹදිව අතිශයින් ම සමෘද්ධි සම්පන්නයි. සශ්‍රීකයි. ගම්, නියම්ගම්, ජනපද, රාජධානි එකිනෙකට සම්බන්ධ වෙලා තමයි පවතින්නෙ. මේ සියළු රාජධානි පාලනය කරන්නේ කේතුමතී රාජධානිය ප්‍රධාන කොටගෙන වාසය කරන සංඛ කියන සක්විති රජතුමා. දඬුවමකින් තොරව ඉතා ම ධාර්මික විදියට තමයි රජතුමා රාජ්‍යය පාලනය කරන්නේ. ඒ කාලෙදි දඹදිව් තලය කොයිතරම් මිනිස්සුන්ගෙන් පිරිලා ඉතිරිලා ගියාද කියනවානම් හරියට බට(උණ) කැලයක් වගේ හැමතැනකම මිනිස්සු හිටියා. හැම තැනක් ම ජනාවාස වෙලයි තිබුණේ. තවත් උපමාවක් කියනවා. නගර අසූහාරදහසකින් යුක්ත කේතුමතී රාජධානියේ එක කෙළවරකින් කුකුළෙක් වහළයකට නැග්ගොත් ඒ කුකුළාට කිසි ම කරදරයක් නැතුව වහළෙන් වහලෙට පනිමින් බිමට බහින්නෙ නැතුව ම නගර අසූහාරදහස හරහා ගිහින් එහා කෙළවරෙන් බිමට බහින්න පුළුවන් කියනවා. හරිම අපූරුයි නේද!

ඒ කාලෙදි තමයි මෛත්‍රී බෝසතාණන් කේතුමතී නුවර පහලවෙන්නේ. ඒ වෙද්දි සන්තුසිත දිව්‍යරාජයා නමින් තුසිත දිව්‍ය ලෝකයේ ඉපදිලා මතු බුද්ධත්වය ලැබීමේ අපේක්ෂාවෙන් වැඩ වාසය කරන මෛත්‍රී බෝසතාණන්ට මහා බ්‍රහ්මයා ඇවිත් "කාලෝ අයං තේ මහාවීරෝ.." ආදී වශයෙන් ආරාධනා කරනවා. මෛත්‍රී බෝසතාණන් පස්මහ බැලුම් බලලා දඹදිව කේතුමතී නම් රාජධානිය පාලනය කරන සංඛ නම් සක්විති රජතුමාගේ පුරෝහිතයා වුණු සුබ්‍රහ්ම බ්‍රාහ්මණයාට දාව බ්‍රහ්මවතී බැමිණියගේ කුසින් මෙලොවට බිහි වෙලා නා ගසක් බෝධි වෘක්ෂය බවට පත්කරගෙන උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා මුල යහපත්වූ, මැද යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සර්ව සම්පූර්ණවූ බ්‍රහ්මචර්යය ප්‍රකාශ කරනවා. බොහෝ සංඝයා පිරිවරාගෙන ලෝසතුන්ට ධර්මය දේශනා කරනවා. මෛත්‍රී බුදුන් වහන්සේ ශ්‍රද්ධාධික බුදුවරයෙක් විදියට තමයි සැලකෙන්නෙ. ගෞතම බුදුන් වහන්සේ ප්‍රඥාධික බුදුවරයෙක්. අනිත් කොටස තමයි වීර්යාධික බුදුවරු. මේ බුදුවරු එකිනෙකට වෙනස් වෙන්නෙ බුද්ධත්වය සඳහා පෙරුම් පුරන කාල ප්‍රමාණය අනුවයි. සමහරු කියනවා මෛත්‍රී බුදුන් වහන්සේ වීර්යාධික බුදුවරයෙක් විදියට, අභිධර්මයේ සමහර කොටස් එක්ක ගලපලා බලද්දි මෛත්‍රී බුදුන් වහන්සේ ශ්‍රද්ධාධික බුදුවරයෙක් වීමත් එක්ක හොඳින් ගැලපිලා යනවා.

ඒ කාලෙදිම සංඛ කියන සක්විති රජතුමත් මහා පනාද කියන පෙර රජෙක් විසින් කරවන ලද ගංගා නදියේ ගිලී තිබුණු ප්‍රාසාදයක් මතුකරගෙන එහි කලක් වාසය කරලා ඒ ප්‍රාසාදය දුගී, මගී යාචකාදීන්ට දන්දීම පිණිස වෙන්කරලා ගිහිගෙයින් නික්මිලා මෛත්‍රී බුදුන් වහන්සේ සමීපයෙහි කෙස් රැවුල් කපා දමලා සිවුරු පොරවාගෙන ශාසනයට ඇතුළු වෙනවා. ඊටපස්සෙ උත්සහයෙන් ම ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ අර්හත් බවට පත්වෙනවා. ඔය විදියට තමයි මෛත්‍රී බුදුන් වහන්සේ ගේ පහලවීම සිද්ධවෙන්නෙ. ඒ සඳහා තව ගොඩාක් කල් තියෙනවා නේද හිතාගන්නත් බැරි තරම්! ඉතින් අපි මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවාද නැත්තම් මේ ආත්මයේදී ම අවබෝධයක් කරා යනවාද කියන එක තම තම නැණ පමණින් තේරුම් ගන්න එක කියවන ඔබට බාරයි. මම කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනතුර පෙන්වා දීම පමණයි. සම්පූර්ණ සටහන් මාලාව කියවන්න ඕනෙ නම්





ප.ලි: අදින් මේ ලිපි පෙළ සමාප්තයි. ඔයාලා මේ සති කිහිපයක් තිස්සේ කියෙව්වේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ තුන්වෙනි කොටසට අයිති චක්කවත්ති සීහනාද සූත්‍රයෙන් කොටසක්. මුලින් ම මේ කියන්නේ සූත්‍ර දේශනාවක් කියලා කිව්වනම් සමහරු නොකියවා යන්නත් තිබුණා, ඒකයි මුලින් නොකිව්වේ. උතුම් ශ්‍රී සද්ධර්මය සහ හසිතගේ ආගිය කතා බ්ලොගයත් මේ සටහන ලියන්න උපකාර වුණා. ඒ හැමෝටම පින්! අවුරුදු දෙදහස පන්සියයකට කලින් මේ දේවල් තම නුවණින් ම අවබෝධ කළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොයිතරම් නම් ආශ්චර්යයවත් ද!

54 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !